ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමත්, අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි ඉහළට පැමිණීමේත් එකම අරමුණින් සංචාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (5) දකුණු අප්‍රිකාවට එරෙහිව ඛෙබර්හාහි සාන්ත ජෝර්ජ් උද්‍යාන ක්‍රීඩාංගණයට පිවිසෙයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.
දෙපිල අතර ඩර්බන්හි කිංස්මීඩ් ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගය ලකුණු 233කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් වූ අතර, ඒ සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුහු සමත් වූහ.
එම නිසා අයිසීසී ටෙස්ට් ලෝක ශූරතාවලියේ පියවරක් පහළ බැසීමට ද සිදු වූ ශ්‍රී ලංකාවට මේ තරගය ජය ගැනීම තරගාවලිය ජය පරාජයෙන් තොරව
නිමා කර ගැනීම පමණක් නොව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට එක්වීමේ තීරණාත්මක බලාපොරොත්තු යළි ඉහළ නංවා ගැනීමට අවස්ථාවක් වනු ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඩර්බන්හිදී කඩා වැටුණු පිතිකරණය යළි ශක්තිමත් කර ගනිමින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් ලබා දීමය. විශේෂයෙන් අයිසීසී ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි තැන පසුවන කගීසෝ රබාඩා සමඟ පළමු තරගයේ වීරයා වෙමින් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූ මාර්කෝ ජැන්සෙන්ට එරෙහිව නව සැලසුමකින් ශ්‍රී ලංකා පිතිකරුවන් අද පිටියට පිවිසෙනු ඇත. පළමු තරගයේදී ජැන්සෙන් කඩුලු 11ක් බිඳ දැමූ අතර, ඒ හේතුවෙන් අයිසීසී ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පියවර 19ක් ඉදිරියට ඒමෙන් 9 වැනි තැන ගැනීමට ද ඔහු සමත්ව ඇත්තේ සිය හොඳම ශ්‍රේණිගත කිරීම සටහන් කරමිනි.
අද තරගය ළහිරු කුමාරට විශේෂ එකක් වී තිබේ. ඒ ඔහුට ටෙස්ට් කඩුලු 100 සම්පූර්ණ කිරීමට කඩුල්ලක් පසුපසින් සිටින බැවිනි. තරග 32ක් ක්‍රීඩා කර ඇති ළහිරු මේ වනවිට කඩුලු 99ක් දවාගෙන තිබේ. තවත් කඩුල්ලක් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100ක් දවාගත් 5 වැනි පන්දු යවන්නා වන ළහිරු ශ්‍රී ලංකා ටෙස්ට් කඩුලුලාභීන් අතර 9 වැනි තැන පසුවෙයි.
දකුණු අප්‍රිකාවට මේ තරගයේදී වෙනස්කම් දෙකක් සිදුව තිබේ. පළමු තරගයේදී ආබාධයකට ලක්වූ ජෙරල්ඩ් කෝට්සිට සති හයක විවේකයක් ලබාදී ඇති අතර, තුන්ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර් ද ආබාධයකට ලක්විය. ඔවුන් වෙනුවට මැතිව් බ්‍රීස්ට්කේ සහ 19 හැවිරිදි ක්වේනා මපාකා ද සංචිතයට අලුතින් එක්වූහ. කෙසේ වෙතත් අද තරගයට ඩේන් පැටර්සන් සහ රයන් රිකල්ටන් එක්වීමට ඉඩ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් අද තරගයේදී මපාකාට අවස්ථාව ලැබුණොත් අවුරුදු 18යි දින 241ක් වන ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ළාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වනු ඇත.
මේ තරගය පැවැත්වෙන සාන්ත ජෝර්ජ් උද්‍යාන ක්‍රීඩාංගණයේ තණතීරුව වේගය සහ ඉපිලීමට ප්‍රසිද්ධියක් උසුලන බැවින් වේග පන්දු යවන්නන්ගෙන් පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල වනු ඇත. විශේෂයෙන් නව පන්දුවක් ගැනීම පන්දු යවන්නන්ට අමතර වාසියක් ගෙන එනු ඇත.