පුත්තලම කියූ සැණින් කාගේත් මතකයට මුලින්ම නැඟෙන්නේ ලුණුය. මන්ද යත්: පුත්තලම ප්‍රසිද්ධයට පත්ව ඇත්තේ ආර්ථික වශයෙන් ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රිය දායකත්වයක් සපයන ප්‍රදේශයක් ලෙස බැවිනි.
එහෙත් අද වන විට පුත්තලම ලුණු ලේවායට අත්ව ඇත්තේ සුළු පටු නොවන තරම් ඛේදජනක ඉරණමකි. පුත්තලම නගරය අවට ස්ථානවලින් බැහැර කරන ඝන අපද්‍රව්‍ය ඇතුළු උපද්‍රවකාරි අපද්‍රව්‍ය ඉවක් බවක් නොතකමින් ලුණු ලේවාය සමීපයට බැහැර කිරීම හේතුවෙන් මේ වන විට උග්‍ර පාරිසරික ගැටලු රැසක් උද්ගතව ඇතැයි අවට ජනතාව තරයේ චෝදනා එල්ල කරති.
මෙසේ ඉවක් බවක් නොතකමින් බැහැර කරනු ලබන ඝන අපද්‍රව්‍ය ඇතුළු අනෙකුත් කසළ මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වැසි ජලය සමඟ මුසු වී ඍජුවම ලුණු ලේවායට ගලා බසින බව ඔවුහු පෙන්නා දෙති. තවද මෙලෙස බැහැර කර ඇති කැළි කසළ සමඟ ඉවත ලන ලද ඉඳුල් සහ කල් ඉකුත් වූ ආහාර කෑමට අයාලේ යන සුනඛයන් හුරු වී ඇති බවත්, ඔවුන්ද පොලිතීන් ලන්ෂීට් ඇතුළු අනෙකුත් දෑ ලේවාය වෙත රැගෙන ගොස් මුදාහරින බවත් ජනතාව පවසති. තවද මෙලෙස අයාලේ රංචු වශයෙන් ගැවසෙන සුනඛයන් මේ ස්ථානයට මුදාහරින වසුරුද තැනින් තැන දක්නට ලැබේ.
එපමණක්ද නොව දිනපතා ට්‍රැක්ටර් රථ සහ වෙනත් වාහනවලින් හොර රහසේ ඉතා සූක්ෂ්ම ලෙස මේ ස්ථානයට ගෙනැවිත් බැහැර කරන කසළ අතරේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා හා ළමයින්ගේ මළ අපද්‍රව්‍ය සහිත පැම්පස් විශාල වශයෙන් අඩංගු වී ඇති ආකාරයක් දක්නට ලැබේ.
අවට ජනතාව පෙන්වා දෙන්නේ මේ ස්ථානයේ කසළ බැහැර කිරීම හේතුවෙන් එම කසළ පරිසරියට මුසු වී ඍජුවම ලේවාය අපිරිසිදුව තිබීම හේතුවෙන් මේ වන විට පුත්තලමේ ලුණු ආහාරයට ගැනීමට තමන් දැඩි බියකින් පසුවන බවයි. තවද ඊයම් මිශ්‍ර බැටරි කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංගද මේ ස්ථානයට මුදාහැර ඇති අයුරු නිරීක්ෂණය වේ.
මේ සම්බන්ධයෙන් පුත්තලම නගර සභාවේ වග කිව යුතු බලධාරීන්ට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙන්ම පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාටද කිහිප වතාවක්ම ලිඛිතව දැනුම් දුන්නද මේ වන තෙක් මෙලෙස කසළ බැහැර කරන්නන්ට විරුද්ධව කිසිදු නීතිමය ක්‍රියාමර්ගයක් නොගෙන ඔවුන් මුනිවත රකිමින් සිටින බවට ප්‍රදේශවාසි ජනතාව ඍජුවම චෝදනා කරති.
මේ මාර්ගය ඔස්සේ දිනකට දහසකට ආසන්න පිරිසක් ගමනාගමනයේ යෙදෙන අතර, ඔවුන්ට මේ ස්ථානය පසු කර යෑමට නොහැකි තරම් දැඩි දුර්ගන්ධයක් නිකුත් වෙමින් පවතී. එසේම මේ ස්ථානය මැසි මදුරුවන්ගේ වාස භූමියක් බවට පත්ව තිබීම තවත් බරපතළ සෞඛ්‍ය අවදානමක්ද උද්ගතව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පුත්තලම නාගරික ලේකම් ප්‍රීතිකා මහත්මිය පවසා සිටියේ කඩිනමින් මේ සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.