සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ජෙනරාල් මහේෂ් සේනානායකට දෙන්න-දිවිදෙන රණවිරු බලවේගයෙන් විපක්ෂ නායකට ඉල්ලීමක්

සමගි ජන බලවේගය පක්ෂයේ දිවිදෙන රණවිරු බලවේගයේ නායක, හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට එම පක්ෂයේ ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධුරයක් දෙන ලෙසට එම බලවේගයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති බව එහි අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක, ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු කර්නල් නාමල් තිලකරත්න මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

Òපසුගිය යුද සමයේදී රටේ රණවිරුවන් සහ ජනතාව වෙනුවෙන් නායකත්වය දුන් හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පසුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේදී සමගි ජන බලවේගය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ නායකයෙක්. පාර්ලිමේන්තුවේ හඬක් නැඟිය හැකි සහ සහජීවනයේ දෑත් දිගු කළ හැකි එකම පුද්ගලයා ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි.

ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් දිවිදෙන රණවිරු බලවේගයේ සංවිධාන කටයුතු සියතට ගත් නිසා දේශපාලන පක්ෂයක් හැටියට සමගි ජන බලවේගය ඉහළ ස්ථානයකට ඔසවා තැබීමට හැකි වුණා. ඒ අනුව එම පක්ෂයේ මේ වන විට සම්පූර්ණ නොකළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හතරෙන් එක් මන්ත්‍රී ධුරයකට ඔහු පත් කරනු ඇති බවට මම විශ්වාස කරනවා.