ඡන්ද දායකයකුගෙන් යෝජනාවක්

මාස දෙකක පමණ කාල සීමාවක් තුළ මැතිවරණ දෙකක් පැවැත්වීමෙන් අනතුරුව ජාතික ජන බල වේගය මේ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන් කර ඇති පරිදි ජනතාව ට අහිතකර වගන්ති ඉවත් කරමින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක් සකස් කිරීමට වත්මන් රජයට කිසිදු බාධාවක් ඇති බවක් නොපෙනේ. එහිදී අප රටේ පවතින මැතිවරණ පනත සංශෝධනය කිරීම පිළිබඳව බලධාරීන් ගේ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

එක් මැතිවරණයක් පැවැත්වීම සඳහා මහජන මුදල් කෝටි ගණනක් වැය කිරීමට සිදුවේ.වසරකට මැතිවරණ කීපයක් පැවැත්වීමට සිදුවීමෙන් කුමන රජයක් පැවතියද එම රජයේ ජනාධිපති ඇමතිවරු සහ මන්ත්‍රීවරුන්ට සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට සිදුවේ.මේ තත්ත්වය යටතේ රටේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීමට වෙන් කල යුතු කාලය මැතිවරණ සඳහා වැය කිරීමට මන්ත්‍රී වරුන්ට සිදුවේ. චන්ද දායකයින් ටද මේ තත්ත්වය නිසා ඔවුන්ගේ වටිනා ශ්‍රම පැය ගණනාවක් ඡන්ද රැස්වීම් සඳහා වැය කිරීමට සිදුවී ඇත .මේ තත්ත්වය අවම කරමින් ජනතා බදු මුදල් නාස්ති කිරීම නතර කිරීම සඳහා ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය එකම දිනක පැවැත්වීමට හැකිවන පරිදි මැතිවරණ පනත සංශෝධනය කිරීම ඉතාමත් කාලෝචිත බව ප්‍රකාශ කරමි. එසේම මැතිවරණ පැවැත්වීමේ නිශ්චිත දින වකවානු නියම කිරීමේ කාල සටහනක් ද එම පනතට ඇතුළත් කිරීම සුදුසුය.එසේ වූයේ නම් පසුගිය කාලයේ මෙන් විවිධ උප්පරවැට්ටි භාවිතා කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කරවන අයට නොහැකි වනු ඇත.

ජාතික මැතිවරණ එකම දිනයක පැවැත්වීමට අවධානය යොමු කරන්නැයි පැෆරල් සංවිධානය පවා මීට කලකට ඉහතදී බලධාරීන් ගෙන් ඉල්ලීම් කලද එක් එක් පටු බල ලෝභී අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නොහැකි නිසා එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එවකට පැවැති ආණ්ඩු කරවූ දේශපාලකයින්ට උවමනාවක් නොවීය. ජනතා බදු මුදල් අර පරිස්සමින් වියදම් කිරීමට කැපවී සිටින වත්මන් රජයට ජාතික මැතිවරණ එකම දිනයක පැවැත්වීමෙන් අති විශාල මුදලක් රටට ඉතිරි කර දිය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.