ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ මලෙර්කොට්ලා නුවර සික් ප්‍රජාව ඉස්ලාම් දේවස්ථානයක් ඉදි කිරිම සඳහා අක්කර ගණනාවක ඉඩමක් පරිත්‍යාග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හින්දු – මුස්ලිම් සහජීවනයට පූර්වාදර්ශයක් සපයමින් සිදු කළ එම සද්කාර්යය ඉන්දියාවේ ඉස්ලාම් විරෝධය තුරන් කිරීමට හේතු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉස්ලාම් දේවස්ථානයක් ඉදි කිරිමට ඉඩමක් පරිත්‍යාග කිරීමෙන් නොනැවතුණු මලෙර්කොට්ලා සික් ප්‍රජාව එම දේවස්ථානයේ ඉදි කිරීම් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ද එක්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මලෙර්කොට්ලා නුවරට යාබද උමර්බාද් සහ අමර්ගාත් නගරවල මුස්ලිම් ජනතාවට සිය වන්දනාමාන සඳහා වසර ගණනාවක් පුරා දේවස්ථානයක අඩුවක් පැවැති බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ඉස්ලාම් දේවස්ථානයක් ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් කැබැල්ල පරිත්‍යාග කිරීමට කටයුතු කළ බවත් මලෙර්කොට්ලා නුවර සික් ජාතිකයන් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.