අමාත්‍ය මණ්ඩල තීරණ

ඇතැම් අධි සුඛෝපභෝගි වාහන රජයේ භාවිතයෙන් ඉවත් කිරීම

රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගි වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි අධි සුඛෝපභෝගි වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇත. ඒ අනුව සියලු රාජ්‍ය ආයතනවල පවතින වාහන පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදු කර, රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800ccට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300ccට වැඩි වාහන (ඩබල් කැබ්/ සිංගල් කැබ්/ වෑන් රථ/ බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් 2025‑03‑01 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් විසින් අපහරණය කිරීමටත්, ඒ අනුව කටයුතු කර මහා භාණ්ඩාගාරයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් වෙත වාර්තා කිරීම සඳහා අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අතුරු සම්මත ගිණුමට යෝජනා සම්මතය සභාගත කිරීම 

2025 වර්ෂයේ මුල් මාස 4ක කාලසීමාව සඳහා පාර්ලිමේන්තුව වෙත අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා යෝජනා සම්මතයක් කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් 2024.11.25 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති අතුරු සම්මත ගිණුම සඳහා වන යෝජනා සම්මතයට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී යෝජනා සම්මතය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Clean Sri Lanka අරමුදල පිහිටුවීම

වර්තමානය වන විට ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික, සමාජීය, ආධ්‍යාත්මික මෙන්ම පාරිසරික වශයෙන්ද සැලකිය යුතු පසුබෑමකට ලක් වීම සැලකිල්ලට ගෙන මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමණය තහවුරු කිරීමෙන් ජාතික අපේක්ෂාව සාක්ෂාත් කරගැනීම සඳහා සිදු කරන ජාතික මෙහෙයුමක් ලෙස Clean Sri Lanka නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ යන නව රජයේ දැක්ම අනුව මෙහෙයවනු ලබන මේ පරිවර්තනීය මුල පිරීම සාමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙනු ඇත. මේ වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කිරීමට‍ත්, ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බළකායක් පිහිටුවීමටත්, වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට පාලක මණ්ඩලයක් මඟින් පාලනය කරනු ලබන Clean Sri Lanka අරමුදල නමින් අරමුදලක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අගමැති කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරු 2කට පත්වීම්

අගමැති කාර්යාලයේ දැනට පුරප්පාඩුව පවතින අතිරේක ලේකම් තනතුරු 2ක් සඳහා දැනට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයකු වශයෙන් සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා සහ දැනට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියක වශයෙන් සේවය කරන ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි චාන්දනී සාගරිකා බෝගහවත්ත මහත්මිය පත් කිරීමට අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුර

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරේ පූර්ණකාලීව වැඩබැලීම සඳහා දැනට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන් සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි එම්.ජී.සී.එස්. රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් තනතුරේ පුරප්පාඩුව පිරවීම

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ පුරප්පාඩුව පවතින දිස්ත්‍රික් ලේකම් තනතුර සඳහා දැනට අම්පාර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ.පී. ඉන්දික අනුරුද්ධ පියදාස මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති මහාචාර්ය, ඒ.එච්.එන්.එච්. අබේරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

දේශීය සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිල දී ගැනීම

ඉදිරි වසරක කාලයක් සඳහා ඖෂධ වර්ග 42ක් සැපයීමේ ප්‍රසම්පාදනය රු. මිලියන 5,398.83ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවටත්, ඖෂධ වර්ග 131ක් සැපයීමේ ප්‍රසම්පාදනය රු. මිලියන 16,611.42ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කර ඇති දේශීය නිෂ්පාදකයන්ටත්, ඖෂධ වර්ග 36ක් සැපයීමේ ප්‍රසම්පාදනය රු. මිලියන 9,022.10ක මුදලකට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කර ඇති දේශීය නිෂ්පාදකයන්ටත්, ඖෂධ වර්ග 130ක් සැපයීමේ ප්‍රසම්පාදනය රු. මිලියන 13,374.65ක මුදලකට අලුතින් තෝරාගත් දේශීය නිෂ්පාදකයන් 24කටත් පිරිනැමීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන-වරාය-ගුවන් සේවා පරිපූරක ඇස්තමේන්තුවක්

පසුගිය වකවානුවේ පැවති ආර්ථික අර්බුදය හේතු කරගෙන ඇතැම් ව්‍යාපෘති සඳහා විදේශ ණය දීම තාවකාලිකව අත්හිටුවන ලද බැවින් සහ අමුද්‍රව්‍ය මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතු කරගෙන කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති බිල්පත් පියවීමට දැනට වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් 2024 වර්ෂය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත විදේශ ණය මූල්‍යකරණය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ඉතිරි වීම් වෙනුවට දේශීය මූල්‍යකරණය යටතේ අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසාගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

සහල් ආනයන සීමා තාවකාලිකව ඉවත් කිරීම

දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාවට සිදු වී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමා තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව ඇමැති මණ්ඩලය විසින් සලකා බලන ලදි. ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ගැනීමකින් තොරව 2024.12.20 දින දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර දීමට තීරණය කරන ලදි.