අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී හස්ත කර්මාන්ත විෂයය කෙරෙහි සුවිශේෂ අවධානයක්-මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අභයකෝන්

චක්‍රවර්තී සම්මාන ලද ශිල්පියෙකු හා ශිල්පිනියක ආණ්ඩුකාරවරයා අතින් සම්මාන ලබාගත් අයුරු. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් ද මධ්‍යම පළාතේ කර්මාන්තකරුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලදී හස්ත කර්මාන්ත විෂය සඳහා සුවිශේෂී අවස්ථාවක් දීමට අවධානය යොමුව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අභයකෝන් මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවැසුවේ ඊයේ (03) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා සම්මාන සහ මූල්‍ය ප්‍රදාන සිදු කළ ‘ශිල්ප අභිමානී සහ චක්‍රවර්තී’ උපහාර උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ජීවිතයේ එක්වරක් පිදෙන චක්‍රවර්තී සම්මාන කර්මාන්තකරුවන් හත්දෙනකුට ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙලෙස ද කීවේය.

“මේ ප්‍රතිසංස්කරණ ලබන වසරේදී සිදු කිරීමට රජය අපේක්ෂා කරනවා. එහිදී ප්‍රායෝගිකත්වයට මුල්තැන හිමි වන ප්‍රතිසංස්කරණය සිදු වෙනවා. දැනට දශක කිහිපයකට පෙර පාසල් විෂය නිර්දේශයේ පැවැති හස්ත කර්මාන්ත පිළිබඳ අධ්‍යාපනය එයින් ඉවත්වීම අවාසිදායක තත්ත්වයක්. එවැනි නිර්මාණාත්මක විෂයයන් පැවැතීමෙන් පාසල් දරුවන්ගේ ඉවසීමේ හැකියාව පවා වර්ධනය වෙනවා.

දේශීය නිෂ්පාදන ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයට ගෙනයෑම ඉතා වැදගත්. එහිදී ජාත්‍යන්තර ඉල්ලුම සහිත නිපැයුම් ඉදිරිපත් කිරීමෙන් රටට සැලකිය යුතු විදේශ විනිමයක් උත්පාදනය කළ හැකියි. කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක ශිල්පීන්ට අමතරව නව කර්මාන්තකරුවන් බිහිකිරීමත් රජයේ අපේක්ෂාවක්. එවැනි නිර්මාණකරුවන් ව්‍යවසායකයන් බවට පත් කිරීම කාලෝචිතයි.”

මෙහිදී චක්‍රවර්තී සම්මාන පාරම්පරික හා නූතන යන අංශ දෙවර්ගය යටතේ පිරිනැමුණු අතර, පාරම්පරික අංශය යටතේ සේසත් සඳහා ගාමිණී විජේසූරිය, ලක්ෂා අංශය යටතේ ජගත් විජේරත්න සහ රිදී පිත්තල කැටයම් යන ක්ෂේත්‍රයෙන් ගාමිණී ප්‍රේමසිංහ මහත්වරු සම්මාන ලැබූහ. නූතන අංශය යටතේ රන් රිදී ආභරණ ක්ෂේත්‍රයෙන් කේ. කුමාරිහාමි, රූකඩ ක්ෂේත්‍රයෙන් උදය ශාන්ත සහ රන් රිදී කැටයම් ක්ෂේත්‍රයෙන් එල්. දයාරත්න මහත්ම මහත්මීහු චක්‍රවර්තී සම්මානයෙන් පිදුම් ලදහ.