ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (03) සහ හෙට (04) පැවැත්වේ.
මේ අනුව අද (03) පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වාත්, හෙට පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වාත් විවාදය පැවැත්වීමට පසුගියදා කථානායක අසෝක සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදයට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.00ට පැවැත්වීමට ද මෙහිදී පක්ෂ නායකයන්ගේ එකඟත්වය පළ වී ඇත.
එමෙන්ම 2025 වසරේ පළමු මාස හතර සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය 05, 06 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. මේ අනුව ඊට අදාළ විවාදය 05, 06 දිනවලදී පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමටත් තීරණය කර තිබේ. එමෙන්ම ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය සඳහා විවාද කාලය වෙන් කිරීම, කාරක සභාවල ආණ්ඩු පාර්ශ්වයේ සහ විරුද්ධ පාර්ශ්වයේ සංයුතිය තීරණය කිරීම, තේරීම් කාරක සභාව ස්ථාපිත කිරීම සහ ඊට අදාළ නාමයෝජනා ලබා ගැනීම, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හා අනෙකුත් කාරක සභා පිහිටුවීම, ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය සහ දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ස්ථාපිත කිරීමට ලැබී ඇති ඉල්ලීම සලකා බැලීම යන කරුණු පිළිබඳ ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව ඇත.