වර්ෂාවෙන් විනාශ වී ගිය කුඹුරු යළි වගා කරන්න මාස තුනෙන් අස්වැන්න ලැබෙන බිත්තර වී යොදා ගැනීම වඩා සුදුසුයි-පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ

වර්ෂාව හේතුවෙන් විනාශ වූ කුඹුරු යළි වගා කිරීමේදී මාස 03න් අස්වැන්න ලබාගත හැකි බිත්තර වී යොදා ගැනීම වඩා සුදුසු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.

දැනට පවතින තත්ත්වය අනුව බිත්තර වී අවශ්‍යය ප්‍රමාණය සොයා ගැනීමට හැකි වුවහොත් ගොවීන්ට යළි වගා කටයුතු ආරම්භ කිරීමට සිදුවන්නේ දෙසැම්බර් මස මැද භාගයේදී බවත්, මාස 03න් අස්වැන්න ලබාගත හැකි බිත්තර වී වෙනුවට වැඩි අස්වැන්නක් ලබා දෙන මාස 3 1/2න් අස්වැන්න ලබාගත හැකි බිත්තර වී වගා කළහොත් එහි අස්වැන්න නෙළීම ආරම්භ වන මාර්තු අග භාගයේදී බොහෝ විට අධික වැසි පතිත වී අස්වනු විනාශ වීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා කීය.

මේ නිසා මාර්තු මස අග භාගයට පෙර අස්වැන්න නෙළා ගැනීමට නම් මාස 03න් අස්වැන්න ලබාගත හැකි බිත්තර වී යොදා ගැනීම වඩා සුදුසු යැයි ද මහාචාර්යවරයා පැවසුවේය.

මේ වන විට රටේ බරපතළ බිත්තර වී හිඟයක් පවතින බවත් මේ නිසා බිත්තර වී සොයා ගැනීම ද ගැටලුකාරී තත්ත්වයක් විය හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්කර 332000 කට හානි සිදුව තිබෙන බව වාර්තා වුවත් සම්පූර්ණයෙන්ම හානි සිදුව තිබෙන්නේ කුඹුරු අක්කර ලක්ෂ 02 ක් පමණ බවත් මෙම කුඹුරු නැවත වගා නොකළහොත් මහ කන්නයේ අහිමි වෙතැයි අනුමාන කළ හැකි වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 360000ක් බවත් මාරඹේ මහතා කීය.

බිත්තර වී අවශ්‍යය ප්‍රමාණය පූර්ණය කර ගනිමින් නැවැත වගා කටයුතු ආරම්භ කිරීමට හැකි වුවහොත් මෙම හානිය අවම කර ගත හැකි බවත් වගා හානිය සඳහා වන්දි ලබාදීම මෙන්ම ගොවීන්ට නැවත වගා කටයුතු ආරම්භ කිරීමට අවශ්‍යය පසුබිම සකසා දීම රජයේ වගකීම බවත් මහාචාර්යවරයා පැවසුවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සහතික කළ බිත්තර වී නිකුත් කරන ව්‍යාපාරිකයින් රටේ සමස්ත බිත්තර වී අවශ්‍යතාවෙන් සපුරාලනු ලබන්නේ 16 – 18 % ක ප්‍රමාණයක් බවත් ඉතිරි සියල්ල ගොවීන් තම වගාවෙන් සම්පාදනය කර ගනු ලබන බවත් කී ඒ මහතා, බිත්තර වී අවශ්‍යතාව රට තුළින්ම සපුරා ගැනීම අත්‍යවශ්‍යය කාරණයක් යැයි ද අවධාරණය කළේය.