දකුණු අප්‍රිකාවට ලකුණු 233ක ජයක් ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ තුනෙන් 4ට

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 233ක දැවැන්ත පරාජයක් අත්විය.

මේ සමඟ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයෝ සමත් වූහ.

මේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වන බැවින් මේ පරාජය සමඟ ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ (55.56%) සිට 5 වැනි ස්ථානය දක්වා පහත වැටීමට සිදු වූයේ ජයග්‍රහණ ප්‍රතිශතය 50.00% වීමෙනි. මේ ජය සමඟ දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයට පත් විය.

කෙසේ වෙතත් ඊයේ එංගලන්තය හමුවේ පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකාවට ඉහළින් සිටි නවසීලන්තයේ (54.55%) ජයග්‍රහණ ප්‍රතිශතය ද 5.00%ක් විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සමව සිවුවැනි ස්ථානයට හිමිකම් කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඩර්බන්හි කිංස්මීඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරගයක් පරාජය වූ පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි. මින් පෙර තරග 3ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව 2000දී තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගත් අතර, 2011 (ලකුණු 208) සහ 2019 (කඩුල්ලක) තරග දෙක ජය ගෙන තිබිණි.

මේ තරගයේ ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල පෙරේදා තරගයේ සිවුවැනි දිනය ආරම්භ කළේ ලකුණු 103කට කඩුලු 5ක් අහිමිව තිබියදීය. දිනේෂ් චන්දිමාල් (83), ධනංජය ද සිල්වා (59) සහ කුසල් මෙන්ඩිස් සටනක් දීමට උත්සාහ කළත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් ඊට ඉඩක් නොලැබිණි.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 191ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාවට රැස් කළ හැකි වූයේ ලකුණු 42ක් පමණි. ලකුණු 149ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 366කට ඉනිම අත්හිටුවූයේ ශ්‍රී ලංකාවට ලකුණු 516ක ඉලක්කයක් දෙමිනි.

ඉනිම දෙකේදී කඩුලු 11ක් (13/7 හා 73/4) මාර්කෝ ජැන්සෙන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

දෙපිල අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ 5 වැනිදා සාන්ත ජෝර්ජ් පාක්හිදී ආරම්භ වෙයි.