සිංගප්පූරු විවෘත කලාත්මක පිහිනුම් ශූරතාවලියේදී රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකාවෝ සමත් වූහ. සිංගප්පූරුවේ ඕබීසී පිහිනුම් මධ්‍යස්ථානයේ පසුගියදා පැවති කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකාවෝ කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.
විවෘත තාක්ෂණ ඒකල ඉසව්වේදී ලකුණු 142.0567ක් ලබා ගනිමින් රිදී පදක්කමක් දිනාගත් පියුෂි කුලසේකර පදක්කම් ජයග්‍රහණය ආරම්භ කළාය. නිශ්කා නානායක්කාර ලකුණු 187.4317ක් ලබා ගනිමින් කනිෂ්ඨ තාක්ෂණික ඒකල ඉසව්වේ රන් පදක්කම, මනේකා ගෝමස් ලකුණු 174.8350ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත්වූවාය. නිශ්කා නානායක්කාර කනිෂ්ඨ ඒකල නිදහස් තරගයේ ප්‍රථම ස්ථානයට පත්වූයේ ලකුණු 130.4875ක් ලබා ගනිමිනි.
ශෂේනි ප්‍රනාන්දු ඇයගේ ඒකල නිදහස් ඉසව්වෙන් දෙවැනි ස්ථානයට පත් වූ අතර විවෘත යුගල තරගයේදී ලූර්දි පෙරේරා සහ ජිත්මි පෙරේරා පිළිවෙළින් යුගල නිදහස් හා යුගල තාක්ෂණික ඉසව්වලින් රන් සහ රිදී පදක්කම් දිනා ගත්හ. කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් ලෙස ටනාලියා රැකව, කියාරා ගුණවර්ධන, ලීනා පෙරේරා, සහේලි කුලසේකර, ඇන්ඩ්‍රියා තිරුකුමාර්, මේතායා සුන්දරරාජ්, එනුකි ගුණතිලක සහ ලිසාලි කරුණානායක එක්ව සිටියහ.
අක්රී අමීර් සහ ඉමාෂි ගමගේ විනිශ්චයකරුවන් ලෙස, දෙහෙරා කැටිපේආරච්චි තාක්ෂණික පාලකවරියක් ලෙසත් මේ තරගාවලියේ විනිශ්චය මණ්ඩලයට ශ්‍රී ලංකාවෙන් ඇතුළත් විය. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නයනා කැටිපේආරච්චි සහ සහය පුහුණුකරු ලෙස ප්‍රභාෂි නවරත්න සහ ලේඩි චැපරෝන් ලෙස මධුකා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු එක් වූහ.