ශ්‍රී ලංකාව කඩුලු 5ක් අතැතිව ලකුණු 413ක් පසුපසින්

ද්විත්ව ශතක සබඳතාවක් ගොඩනඟමින් නායක ටෙම්බා බවුමා සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් රැස් කළ විශිෂ්ට ශතක හේතුවෙන් ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් ලබාදීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

එම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා පිල තෙවැනි දිනයට තරගය නතර කරන විට ලකුණු 103ක් රැස් කර තිබුණේ කඩුලු 5ක් අහිමි කර ගනිමිනි. ඒ අනුව කඩුලු 5ක් පමණක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 413ක් පසුපසින් සිටී.

දිනේෂ් චන්දිමාල් ලකුණු 29ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, නායක ධනංජය ද සිල්වා ලකුණු රැස් කිරීම ආරම්භ කර නොතිබිණි.

දැවැන්ත ඉලක්කය හඹා යෑම ඇරඹූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 12ක් වෙද්දී පිට පිට දෙවැනි වරටත් කගීසෝ රබාඩාගේ ගොදුරක් බවට පත්වීමට දිමුත් කරුණාරත්නට සිදු වූ අතර, ඔහු රැස් කළේ ලකුණු 4ක් පමණි. පැතුම් නිශ්ශංක ලකුණු 25කට සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25කට දැවී යද්දී කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 10කට සීමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 99ක් විය.

තවත් ලකුණු 2ක් එක් වෙද්දී සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරියට යළි ක්‍රීඩාගාරය බලා යෑමට සිදු විය. පන්දු යැවීමේදී කගීසෝ රබාඩා සහ මාර්කෝ ජැන්සෙන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඊයේ තරගයේ තෙවැනි දිනයේ සවස තේ පානය සඳහා තරගය නතර කරන විට දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 366ක් රැස් කර තිබූ අතර, ඒ සමඟ ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කළහ. මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 191ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාවට රැස් කළ හැකි වූයේ ලකුණු 42ක් පමණි. ඒ අනුව ලකුණු 149ක වාසියද සමඟින් ශ්‍රී ලංකාවට ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් දීමට දකුණු අප්‍රිකාවට හැකි විය.

කඩුලු 3කට ලකුණු 132ක් ලබා සිටියදී දිනය ඇරඹූ ටෙම්බා බවුමා සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු පුවරුව 338 දක්වා ඉදිරියට ගෙන ගිය අතර, දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කර සිටි ස්ටබ්ස් දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වීමත් සමඟ සිව්වැනි කඩුල්ලේ සබඳතාව නිමා විය.

මේ දෙදෙනා සිව්වැනි කඩුල්ලට පන්දු 433කින් ලකුණු 249ක සබඳතාවක් ගොඩනැඟුවේ දකුණු අප්‍රිකානු ටෙස්ට් ඉතිහාසයේ එම කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ඉහළම සබඳතාව සටහන් කරමිනි.

පන්දු 221කට මුහුණ දී තිබූ ස්ටබ්ස් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි. ඊයේ සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට නායක බවුමා සමත් වූ අතර, ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ පළමු ශතකය මෙයයි. පන්දු 228කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 113ක් ලබා සිටියදී බවුමා කඩුල්ල මුවා කිරීමට වරදට හසු කර ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, ඒ සමඟ තරගය සවස තේ පානය සඳහා නතර කෙරිණි. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්හ.

අද තරගයේ සිව්වැනි දිනයයි.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම – 191 (ඕවර 49.4) ටෙම්බා බවුමා 70 (අසිත ප්‍රනාන්දු 44/3, ළහිරු කුමාර 70/3, ප්‍රභාත් ජයසූරිය 24/2, විශ්ව ප්‍රනාන්දු 35/2)

ශ්‍රී ලංකා පළමු ඉනිම – 42 (ඕවර 13.5) මාර්කෝ ජැන්සෙන් 13/7, ජෙරල්ඩ් කෝට්සි 18/2)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම

ටෝනි ඩි සෝර්සි ඇ.අසිත ප.ප්‍රභාත් 17

ඒඩ්න් මාක්‍රම් ප.විශ්ව 47

වියාන් මුල්ඩර් ක.මු.ක. ප.ප්‍රභාත් 15

ට්‍රිස්ටන් ස්ටබ්ස් ප.විශ්ව 122

ටෙම්බා බවුමා ක.මු.ක. ප.අසිත 113

ඩේවිඩ් බෙඩිංහැම් නොදැවී 21

අතිරේක 31

එකතුව කඩුලු 5ක් දැවී (ඕවර 100.4) 366

(ඉනිම අත්හිටුවන ලදි)

කඩුලු බිඳ වැටීම: 1-47, 2-77, 3-89, 4-338, 5-366

පන්දු යැවීම: අසිත 17.4-2-54-1, විශ්ව 18-2-64-2, කුමාර 18-5-43-0, ප්‍රභාත් 40-2-132-2, ධනංජය 6-0-31-0, කමිඳු 1-0-12-0.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

පැතුම් නිශ්ශංක ක.මු.ක. ප.කෝට්ස් 23

දිමුත් කරුණාරත්න ඇ.ස්ටබ්ස් ප.රබාඩා 4

දිනේෂ් චන්දිමාල් නොදැවී 29

ඇන්ජලෝ මැතිව්ස් ක.මු.ක. ප.ජැන්සෙන් 25

කමිඳු මෙන්ඩිස් ඇ.විරෙයින් ප.ජැන්සෙන් 10

ප්‍රභාත් ජයසූරිය ඇ.සෝර්සි ප.රබාඩා 1

ධනංජය ද සිල්වා නොදැවී 0

අතිරේක 11

එකතුව කඩුලු 5ක් දැවී (ඕවර 31) 103

කඩුලු බිඳ වැටීම: 1-12, 2-38, 3-82, 4-99, 5-101

පන්දු යැවීම: රබාඩා 11-2-34-2, ජැන්සෙන් 11-3-22-2, කෝට්ස් 5-0-39-1, මහරාජ් 4-0-5-0.