ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් මෙරට බිහි කිරීම ජපානයේ ඇගයුමට

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව ජපාන රජයේ ප්‍රශංසාව පළ කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහත්වරුන් අතර හමුවක් පෙරේදා (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති අවස්ථවේදී මේ ප්‍රශංසාව පළ කිරීම සිදු කෙරිණි.

මෙරට සෞඛ්‍ය සේවාව තුළ ජයිකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති වන පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ, ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ, ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමේ යනාදී ව්‍යාපෘතීන්වල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය, බදුල්ල සහ ත්‍රිකුණාමලය රෝහල්වල හෘදය කැතීටකරණ ඒකක පිහිටුවීම සහ කෑගල්ල, කුරුණෑගල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල්වල සූර්ය පැනල සවි කිරීම යනාදි ව්‍යාපෘති පිළිබඳ ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

වසර 70ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සපුරන ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිතුදම පිළිබඳවත් මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සඳහා ජයිකා ව්‍යාපෘතිය මඟින් සිදු වන සේවාවන්ද සිහිපත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙරට ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවා විධිමත් ලෙස පවත්වා‌ගෙන යෑමට ජපාන රජය මෙන්ම ජයිකා ව්‍යාපෘතිය දෙන සහයෝගයට ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ස්තූතිය පළ කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායි ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරන බවද ඔහු අවධාරණය කළේය. ජපන් රජය මෙරටට සලසන ව්‍යාපෘති හා ප්‍රදාන නව රජය ජනහිත සුව පිණිස යෙදවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී Naoaki Kamoshida, දෙවැනි ලේකම්වරුන් ලෙස Katsuhiro Suzuki, Sachi Tanaka, ජයිකා ව්‍යාපෘතියේ මෙරට නියෝජිත Tetsuya Yamada මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.