ශ්‍රී ලංකාව බාහිර බලපෑම්වලට යටත් නොවී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගත යුතුයි-ශ්‍රී ලංකාවේ චීන තානාපති කියයි

මේ වන විට ලෝක ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගෙන තිබෙන චීනය, ලෝකය පුරා රටවල් රැසක ප්‍රධාන ආර්ථික, හවුල්කරුවකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.

තානාපතිවරයා මේ බව පැවසුවේ Consolidate and Strengthen the Global Suth and Practice True Multilateralism ( Spech at the Briefing Session on Chona’s Multilateral Diplomacy) යන මැයින් කොළඹ චීන තානාපති කාර්යාලයේ පසුගියදා (28) තෝරා ගත් මාධ්‍යවේදීන් පිරිසක් වෙනුවෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීය.

තවදුරටත් අදහස් දක්වමින් තානාපතිවරයා මෙසේ ද පැවසීය.

අතීතයේ සිට බලවත් ජාතීන්මෙන් නොව චීනය ගෝලීය ආර්ථික භූ දර්ශනය හැඩගස්වන්නේ ‘ගෝලීය දැක්මක් වැලඳගත් එක් පවුලකට අයත් ලෝකයක්’ යන මූලධර්මය මත සිටිමින් සහ සාමකාමීව, විවිධත්වය පිළිගනිමින් හා සංහිඳියාව පෝෂණය කරමින් බව කිවයුතුව තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා එක් තීරයක් සහ මාවතක් මුලපීරිම (Belt and Road initiativ-BRI) නම් විස්මයජනක වැඩසටහනක් දියත් කිරීමෙන් ශ‍්‍රී ලංකාව සහ ලෝකය අතර සබඳතා වේගයෙන් පුළුල් වුණා. විශේෂයෙන් චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන අයෝජන සුදු අලි නොවන බව පැවසීය යුතුයි.

ලෝකයේ ඇතැම් පාර්ශ්ව ආර්ථික තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව බාහිර බලපෑම්වලට හිස නොනැමිය යුතුයි. ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑම ඉතා වැදගත් වෙනවා.

චීනයේ ස්ථාවරය සහ ශ්‍රී ලංකාව සමඟ ඇති අනාගත සබඳතා ශක්තිමත් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවට ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට වෙනත් රටවල සහාය අවශ්‍ය බව ඇතැම් රටවල් පෙන්වා දෙනවා. ශ්‍රී ලාංකික ජනතාව තමන් ගැන විශ්වාසයෙන් සිටිය යුතුයි. චීනය වැනි මිත්‍රශීලි හවුල්කරුවන් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම දෙස බැලිය යුතු බව මා පවසනවා.

“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයට පුද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ. චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීමට සහ විදේශ බලපෑම්වලට ඔරොත්තු දීමට උපකාරි වනු ඇති බව අප තරයේ විශ්වාස කරමු. ආසන්න මැතිවරණයෙන් නව ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව නව පරිච්ඡේදයක් විවෘත කර තිබෙනවා. චීනය ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව ඉතා විශ්වාසයෙන් යුතුව කටයුතු කරනවා.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට චීන පර්යේෂණ යාත්‍රාවක් ඇතුළු කිරීම සඳහා චීනය කළ ඉල්ලීම හිටපු ආණ්ඩුව තරයේ ප්‍රතික්ෂේප කිරීමත් සමඟ චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පළුදු වූ බව මා යළිත් අවධාරණය කරන්න කැමැතියි. ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් සබඳතා තිබියදීත්, පසුගිය ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ග ගැනීම කනගාටුවට කරුණක්.

එම පර්යේෂණ යාත්‍රා මාලදිවයින සිය මුහුදේදී පිළිගත් නමුත් ශ්‍රී ලංකාව එය ප්‍රතික්ෂේප කිරීම අප පුදුමයට පත්කිරීමට සහ කලකිරීමට පත්කිරීමට හේතු වෙනවා.

චීනය ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ව්‍යාපෘති “සුදු අලි” ව්‍යාපෘති බව ඇතැම් ‘පාර්ශ්වයන්’ දිගින් දිගටම ප්‍රකාශ කරනවා. නමුත් චීන ජාතිකයන් ආයෝජනය කළ සෑම ව්‍යාපෘතියක්ම ශ්‍රී ලංකාවේ පසුගිය ආණ්ඩු කළ ඉල්ලීම මත සිදු වූවක් බව මා මෙහිදී කිවයුතුයි.

නෙළුම් කුලුන අප උදාහරණ ලෙස ගනිමු. නෙළුම් කුලුන පෞද්ගලික සමාගමකට බදු දීමෙන් පසු ලාභ ලැබීමට අද පටන් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත්.

හම්බන්තොට සහ කොළඹ වරායයන් දෙකම ශ්‍රී ලංකා රජයට විශාල ආදායමක් උපයා දෙනවා. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ව්‍යාපෘති ඉදිකරන විට එය ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි රට දැනගත යුතුයි.

සමහර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සමහර ව්‍යාපෘති හඳුන්වන්නේ ‘සුදු අලි ව්‍යාපෘති’ ලෙසයි. නමුත් මේ චෝදනා පදනම් විරහිතයි. චීනය ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත මෙම ව්‍යාපෘති ගොඩනැඟුවා. ශ්‍රී ලංකාව පැත්තෙන් මෙම ව්‍යාපෘතිවල දුර්වල ක්‍රියාකාරිත්වය නිසා එය ප්‍රයෝජනයට නොගැනීමට හේතුවුණ බව කිවයුතුයි.

චීනයේ ණය උගුල පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ඇතැමුන් අදහස් දක්වනවා. නමුත් තවමත් ශ්‍රී ලංකාවට ණය සහ ආයෝජන ලබා දෙනවා.දෙරට අතර පවතින දැඩි මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත මෙය සිදු කරනවා. ණය දෙන විට ණය හිමියාට දොස් නැඟිය යුතු නැහැ. ඒ වෙනුවට දොස් පැවරිය යුත්තේ ණය නිවැරදි ආකාරයෙන් භාවිත කිරීමට නොදන්නා තැනැත්තන්ට බව මා කියන්න කැමතියි.

ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා වට හතක් පැවැත්වුවද දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) පිළිබඳ සාකච්ඡා තවමත් ඇනහිට තිබෙනවා. නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාව චීන වෙළෙඳ ආධිපත්‍යයට යටවෙන බව ඇතැමුන් කියනවා. එවැනි කතා සහ චෝදනා අසත්‍ය වන අතර ජනතාව නොමඟ යවන සුළු බව කිවයුතුයි.

නිදහස් වෙළෙඳ (FTA) ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා පාර්ශ්වයට පුළුවන් වසරකට පසුව ඔවුන්ට එම ගිවිසුම නැවත සකස් කළ හැකි බව මට සහතික විය හැකිය. චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකින් ප්‍රතිලාභ ලබන තවත් බොහෝ රටවල් තිබෙනවා. ඇයි ලංකාව ප්‍රයෝජන ගන්නේ නැත්තේ.

ශ්‍රී ලංකාව සිය පැරණි ණය පියවා නොගෙන සිටින්නේ නම්, රට ගන්නා ඕනෑම නව ණයක් බරක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකාව සිය ණය හිමියන් සමඟ එකඟතාවකට පැමිණිය යුතුයි. සමහර ණය දෙන්නන් ද එය තම වාසියට යොදා ගනිමින් ශ්‍රී ලංකාවෙන් වැඩි පොලියක් ලබා ගන්නවා.