රාජිතට-රූමිට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමකින් තොරව චුදිතයෝ නිදොස්

2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් සුදු වෑන් මඟින් පුද්ගලයන් පැහැරගෙන ගිය බවට බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් විත්තියේ සාක්ෂි විමසීමකින් තොරව චුදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (29) නියෝග කළේය. පැමිණිල්ලේ සාක්ෂි මඟින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඉදිරිපත් කර නොමැති බව දක්වා විත්තියේ නඩුව විමසීමෙන් තොරව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ චුදිතයන් මුදාහරින ලෙස විත්තියේ නීතිඥයන් ඉල්ලා සිටින ලදි. එම ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කරමින් චුදිතයන් නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

2019 ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු නම් තැනැත්තකු ඉදිරිපත් කර සුදු වෑන් මඟින් පුද්ගලයන් පැහැර ගෙන ගිය බවට ප්‍රතිවාදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා නඟන ලදි.

රාජිත සේනාරත්න මහතා සංවිධාන කළ එම මාධ්‍ය සාකච්ඡාවේදී ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු නමින් පෙනී සිටි සකලවල්ලි ආරච්චිලාගේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නැමැති තැනැත්තන් සහභාගි විය.

අසත්‍ය ප්‍රකාශ සිදු කොට වැරැදි අදහසක් ඇති කිරීම මඟින් හානියක් කිරීම හා ඒ සඳහා බොරු සාක්ෂිකරුවන් යෙදවීම, අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා 13ක් යටතේ විත්තිකරුවන්ට විරුද්ධව නීතිපතිවරයා 2020 වසරේ ජූලි 31 වැනි දා නඩු පවරන ලදි.

ජනාධිපතිවරණ අපේක්ෂකයකුට අගතිදායක වන අසත්‍ය ප්‍රකාශ සිදු කළ බවට චෝදනාකර දණ්ඩ නීති සංග්‍රහයේ 189, 102, 113 (ආ) හා 190 යන වගන්ති යටතේ සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ 80 (1) වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කෙරිණි.

නඩු විභාගයේදී පැමිණිල්ල විසින් හිටපු ඇමැතිවරයාගේ ආරක්ෂක නිලධාරින්, වේශ නිරූපණ ශිල්පියා ඇතුළු පිරිසක් සාක්ෂියට ඉදිරිපත් කළ ද මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සකලවල්ලි ආරච්චිලාගේ සරත් කුමාර යන අය නඩුව ඉදිරිපත් කිරීමට අසමත් විය.

ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති හෙයින් විත්තිකරුවන් දෙදෙනා විත්තිවාචක නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

විත්තිකරුවන්ට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ බව ආගමන හා විගමන පාලකට දන්වන ලෙස රෙජිස්ට්‍රාරිවරියට නියෝග කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ උපදෙස් පරිදි රජයේ අධිනීතිඥ පද්මලාල් ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය වීය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එස්. අනිල් ද සිල්වා, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සමඟ නීතිඥ නන්දන පෙරේරා, මිගාර ගුණරත්න, චරිත ගුණරත්න යන මහත්වරු පෙනී සිටියහ.