සුජීවා සේනානායක ලක්සලේ සභාපති ධුරයට

ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර කිහිපය අතරින් එකක් වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ලක්සල සඳහා නව සභාපතිනියක් පත්කර තිබේ. නව සභාපතිනිය පසුගියදා (28) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තාය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය වසර 60 ඉතිහාසයේ ඉහළම ආදායම මෙම වසරේදී මේ වනවිටත් ලබා ඇති අතර ඉදිරි මාසය තුළ තවදුරටත් තම විකුණුම් වැඩිකර ආදායම් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙයි.

නව සභාපතිනිය ලෙස පත්වූ සුජීවා සේනානායක මහත්මිය පුද්ගලික අංශයේ වසර 25ක වෘත්තීය අත්දැකීම් ඇති ගණකාධිකාරිනියක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විශේෂ උපාධිධාරිනියක්ද වෙයි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ අමාත්‍යාංශය සමඟ එක්ව මේ වනවිටත් ලාභ ලබන ලක්සල ආයතනයේ ලාභය තවදුරටත් වර්ධනය කර ගනිමින් විදේශ වෙ‍ෙළඳපළ වෙත ප්‍රවිශ්ටවීමත්, ලක්සල ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්කිරීමත් තම ඉලක්කය බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් නව සභාපතිනිය පැවසුවාය.