ජල ගැලීම්වලින් විපතට පත් වූවන් බලන්න මැති-ඇමැතිවරු උතුරු-නැඟෙනහිරට යති

පවතින වැසි තත්ත්වය සහ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුවේ මැති – ඇමැතිවරු පිරිසක් උතුරු හා නැඟෙනහිර පළාත්වල නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ. මේ වනවිට රටපුරා ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදෙන ආකාරය මෙන්ම ඒ සඳහා කඩිනමින් ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කොට තිබෙන අතර ඊට අමතරව ඒ ඒ පළාත්වල රජයේ ඉහළ පෙළේ නිලධාරින් සමඟ ද මෙහිදී සාකච්ඡා කර ඇත.

ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය කරදීම මෙන්ම තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර තිබෙන අතර ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු පහසුකම් ඉටුකිරීම සඳහා මෙහිදී අවධානය යොමු විය.

උතුරු පළාතේ යාපනය, මන්නාරම, කිළිනොච්චිය දිස්ත්‍රික්ක මෙන්ම නැඟෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ජනතාව මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ට සහන සැලසීම සඳහා පවතින අවස්ථාවන් සොයා බැලීම සඳහා මැති ඇමැතිවරු මෙලෙස එම ප්‍රදේශවල සංචාරයකට එක්ව තිබේ.