ජනපති පුටින් කළ දරුණු තර්ජනය

තම රට සතු නවතම බැලස්ටික් මිසයිලය යොදා ගනිමින් යුක්‍රේනයේ කිව් අගනුවර මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත.

ඔහු අවධාරණය කරන්නේ අමෙරිකාව ඇතුලු බටහිර රටවල් ලබාදුන් මිසයිල භාවිත කරමින් රුසියානු භූමිය වෙත සිදු කරන ප්‍රහාර වල‌ට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර එල්ල කිරීම‌ට පියවර ගෙන ඇති බවයි.

රුසියාවේ නවීනතම ඔරෙෂ්නික් බැලස්ටික් මිසයිලයේ ප්‍රහාරක බලය උල්කාපාත පහරකට සමාන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම හයිපර්සොනික් අවියට දැඩි ලෙස ශක්තිමත් ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකි බවයි.
මොස්කව් සතුව දැනටමත් එවැනි මිසයිල කිහිපයක් පවතින අතර උසස් ආයුධ පද්ධතියේ මහා පරිමාණ නිෂ්පාදනය ආරම්භ කර ඇති බව ජනාධිපති පුටින් කසකස්තානයේ අගනුවර පැවති සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ සමුළුවකදී කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති ජාලයට විශාල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුවය.