වකුගඩු රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි පිරිමි දරුවාගේ ශල්‍යකර්මය සිදු කළ බව කියන, මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතාගේ සාක්ෂිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඊයේ (28) කැඳවනු ලැබිණි.
මෙහිදී සැකකාර වෛද්‍යවරයා විසින් ඔස්ට්‍රේලියාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පැයකට අධික කාලයක් පුරා දෙනු ලැබූ ප්‍රකාශය ඔස්ට්රේලියොව් මහ කොමසාරිස් කාර්යාලය මඟින් සහතික කර ගෙන්වා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර, අගතියට පත් දරුවාගේ මවුපියන් වෙනුවෙන් නීතිඥ වයි.එල්.එම්. යූසුෆ් මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණයේ පෙනී සිටිමින් සැකකාර වෛද්යෙවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීය.
කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි පස්ලිම් නමැති තෙහැවිරිදි කුඩා පිරිමි දරුවකු මියයෑමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (28) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණ දැක්වූහ. එහිදී තමන් ඇතුළු වෛද්‍ය මඬුල්ල මියගිය දරුවගේ සැත්කම සිදු කරන අවස්ථාවේ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණය මඟින් දරුවාගේ වකුගඩු දෙකම ඇති බව තහවරු කළ බව සැකකාර වෛද්‍යවරයා සාක්ෂි දෙමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සැකකාර වෛද්‍යවරයා මෙසේ පැවසීය:
වකුගඩු සැත්කම කරන අවස්ථාවේ විශාල මල්ලකට සම්බන්ධ වූ කුඩා කොටසක් එහි දුටුවා. වම් පස වකුගඩුව ඉවත් කිරීමටයි සූදානම් කර තිබුණේ. ස්කෑන් පරීක්ෂණය සිදු කළා. දකුණු වකුගඩුව තිබේද යන්න පරීක්ෂා කළා. ඉවත් කළ මුළු ව්‍යූහයම තනි වකුගඩුවක් යන්නයි නිගමනය වී තිබුණේ. උඩු කොටසේ සහ යට කොටසේ මූත්‍ර නාළ තිබුණා. රුධිර නහර ඉවත් කර ඉතිරි කොටස ගැටගසා මැහුම් දැම්මා. ඒ බවට වාර්තා කර තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා: ඊට අදාළව සටහන් යොදා තිබෙනවාද?
සැකකාර වෛද්‍යවරයා: උඩ කොටස (Upper Monky) යට (lower monky)අදාළ රුධිර නාළ ගැටගසා මැහුම් දැමූ බවට ලියා සටහන් කර තිබෙනවා. වෙන වෙනම ලිවුවාද කියා දන්නේ නැහැ. සැත්කමේ හැම දේම ලියන්නේ නැහැ.
නීතිඥ යූසුෆ් මහතා: පොඩි අනු කෑල්ලේ රුධිර නාළ ගැටගසා මැහුම් දැමූ බවට සටහන් කළාද?
සැකකාර වෛද්‍යවරයා: වාර්තාව බලා නිවැරදිව පැවසයි හැකියි.
නීතිඥ යූසුෆ් මහතා: දකුණු වකුගඩුව තිබූ බවට වාර්තා වී තිබෙනවා.
සැකකාර වෛද්‍යවරයා: හදිසි අවස්ථාවක තමයි රේඩියෝලොජිස්ට් කෙනකු සැත්කමට ගෙන්වාගන්නේ. විශේෂිත ප්‍රශ්නයක් හෝ දෙකක් දැනගැනීමටයි. අදාළ උත්තරය දී ඔවුන් යනවා. සම්පූර්ණ වාර්තාවක් දෙන්නේ නැහැ. එයයි සාමාන්‍ය ක්‍රමවේදය.
මහේස්ත්‍රාත්වරයා: ඒ වාර්තාවේ දකුණු වකුගඩුව ඇති බවට දක්වා තිබෙනවා. ඒ වගකීම ගන්නේ කවුද?
සැකකාර වෛද්‍යවරයා: දකුණු වකුගඩුව තිබෙන බවට ඔහු කීප සැකරයක් කිවුවා. ඊට පසුව තමයි අප පියවර ගන්නේ. සාමාන්‍ය බද්ධ වකුගඩුවක වකුගඩුව බාහිරව ගත්තම පෙනුමෙන් සාමාන්‍යයි. සමහර වකුගඩු යම් හේතුවක් මත විශාල විකෘති වූ ඒවා තිබෙනවා. ඒ වගේ විකෘති වූ වකුගඩුවක් තමයි දක්නට තිබුණේ. සැතකම පටන්ගත්තාම දැනගෙන තිබුණේ වකුගඩු දෙකම තිබුණු බවට. වම් පස ව්‍යූහයක් දැක්කා. බද්ධ වූ ඝන කොටසක් ලෙස මල්ලක් වගේ ව්‍යූහයක් ලෙස තිබුණා. එහෙම හැදෙන්නේ අකර්මණ්‍ය වූ වකුගඩුවක් තිබෙන බව සනාථ වුණා. ඒ මල්ල ඉවත් කරනු ලැබුවේ දරුවාට වකුගඩු දෙකක් තිබෙන නිසයි. ස්කෑන් එකෙන් ඒ බව දැනුණා නම් එය ඉවත් කරන්නේ නැහැ. සැත්කමින් පසු වකුගඩු අකර්මණ්‍ය වන බව දැනගත්තා මහාචාර්ය මලිත් සමරසිංහ මහතාගෙන්. ඒ අනුව දරුවාගේ බඩ කුහරයට කැපුම් දාලා පෙරිටෝරියර් ඩයලයිසිස් කිරීමට අදාළ කුඩා කැපුම් සහ නාභියට පහළින් කැපුමක් දමා ඩයලයිසිස් කිරීමට සකස් කර තිබුණා. (මියගිය දරුවාට අදාළ ඡායාරූපයක් පෙන්වයි)
සැකකාර වෛද්‍යවරයා: මේ සැත්කම සඳහා වෛද්‍ය සරෝජනී ගාල්ලගේ, නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙක් සහ හෙද නිලධාරිනියක් සහායට සිටියා. සැත්කම් කරන අතරතුර මහාචාර්ය මලිත් සමරවික්‍රම මහතා පැමිණ අවශ්‍ය උපදෙස් දුන්නා.
මහේස්ත්‍රාත්වරයා: වකුගඩු නැහැ කියලා දැනගෙන ප්‍රකාශයක් දුන්නාද?
සැකකාර වෛද්‍යවරයා: වකුගඩු දෙකම අකර්මණ්‍ය වන බව දැනගත්තාම කළ හැකි කාර්ය අවමයි. වකුගඩු පාලනය කිරීමේ ඒකකට දරුවා භාර දුන්නා. දරුවාට තවත් ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය බව දැනගත්තා. බෙල්ලට සහ බඩට කීමෝ ඩයලයිසිස් කැතීටර් සහ පෙරිටෝරියර් ඩයලයිසිස් කැතීටර්වලට අදාළ සැත්කම් සඳහා ශල්‍ය වෛද්‍යවරුන් සහාය වී තිබුණා. ඒවාට මගේ සහභාගිත්වයක් තිබුණේ නැහැ. මේ තත්ත්වය දැනගත් වහාම මහාචාර්ය මලිත් සමරවික්‍රම, වෛද්‍ය රන්දුල, ජෙරාඩ් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ මම සාකච්ඡා කළා. මවුපියන් දැනුවත් කළා. ආයතන ප්‍රධානියාව දැනුවත් කළා. දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. රෝහලේ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කළා. ඊට පසුව මොකද වුණේ කියන්න දන්නේ නැහැ. ජනවාරි මස 28 මම විදේශගත වුණා.
මෙහිදී දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යූසුෆ් මහාගේ කනිෂ්ඨ නීතිඥවරයා මේ සාක්ෂියෙන් නඩුව ඔප්පු වන බව අධිකරණයට දන්වා සිටි අවස්ථාවේ සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවක කනිෂ්ඨ නීතිඥවරයාට කරුණු දැක්වීමට නොහැකි බවයි. ‘තීන්දුවක් දෙන්න ඔබ විනිසුරුවරයෙක්ද?’යිද නීතිඥ සාලිය පීරිස් මහතා විමසා සිටියේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා නීතිඥ ළහිරු වීරසිංහ මහතාට අවවාද කරමින් දන්වා සිටියේ අධිකරණය අවශ්‍ය නියෝග දෙන බවයි. අපරාධ නීතියේ ඒ බව දක්වා ඇති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. මේ සිද්ධිය සම්බන්යෙන් නියෝගයක් ලබන 2025 වසරේ පෙබරවාරි 11 දින දෙන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
සිද්ධියෙන් මියගිය දරුවාගේ වම් වකුගඩුවේ ඇති වූ රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රෝහල්ගත කර ඇති බවත්, එහිදී සිදු කළ ශල්‍යකර්මයකදී දරුවාගේ සාමාන්‍ය තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවටද හානි වීමෙන් මේ මරණය සිදුව ඇති බවත් පවසමින් මියගිය දරුවාගේ මවුපියන් බොරැල්ල පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මේ විමර්ශන ආරම්භ කෙරිණි.
පසුව පැමිණිල්ලේ ඉල්ලීම මත එම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය වෙත භාර කර ඊට අදාළ විමර්ශන සිදු කර තිබිණි.