ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති මන්නාරමේ හදිසි සංචාරයක-සුරක්‍ෂිත මධ්‍යස්ථාන සහ සුබසාධන කටයුතු ගැනත් බලයි

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ සොයා බැලීමට හා ඒ වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමේ කටයුතු නිරීක්‍ෂණය කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා 26දා සවස එම ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරත විය.

නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ යුද හමුදාපති, නාවික හමුදාපති, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් ද අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ප්‍රදේශ කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.

ඒ අතරින් මන්නාරම හා ඒ අවට ප්‍රදේශය වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. දැනට එම ප්‍රදේශයේ විපතට පත්වූවන් වෙනුවෙන් ස්ථාපිත සුරක්‍ෂිත මධ්‍යස්ථාන වෙත ගොස් එහි ක්‍රියාත්මක සුබසාධන කටයුතු පිළිබඳව සොයා බැලූ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැතිවරයා, කුඩා ළමයින්, කාන්තාවන් සහ වැඩිහිටි ප්‍රජාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ලෙසත් විපතට පත් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මන්නාරම දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිස් වෙත සහන සැලසීමේ අරමුණින් මේ වන විට ආපදා සහන මධ්‍යස්ථාන 25ක් ක්‍රියාත්මක වන අතර, ආපදාවට පත් අය වෙනුවෙන් කඩිනම් සහන සැලසීමට කටයුතු කර ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) පෙරවරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරින් මෙන්ම ආපදාවන්ට ලක් වී ඇති ප්‍රදේශවල ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. දැනට පවතින තත්ත්වය හා එහි ඉදිරි ප්‍රවණතා මෙන්ම පවතින ආපදා තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින සහන සැලසීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානයට ලක් කෙරිණි. එමෙන්ම ජීවිත හානි වැළැක්වීමට මුදා ගැනීමේ කටයුතු මෙන්ම අවතැන් වූ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන කටයුතු සැලසීම කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ඔහු අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය. අනතුරුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී පවතින කාලගුණික තත්ත්වයේ වැඩිවීමක් සිදුවුවහොත් ඉන් පීඩාවට පත් ජනතාවගේ සංඛ්‍යාත්මක වර්ධනයක් ඇති විය හැකි බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට සුරක්ෂිත මධ්‍යස්ථානවල පහසුකම් වැඩි කිරීමටත් කටයුතු යොදා ඇති බව තවදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම සුරක්‍ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන ජනතාවගේ දේපළවල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද දැනුම් දුන්නේය. තවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අවතැන් වූ ජනතාව වෙත අවශ්‍ය සහනාධාර කඩිනමින් හා විධිමත්ව සැපයීමට ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආදි අත්‍යවශ්‍ය සේවා සියල්ල ඒකාබද්ධව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව නායයෑම් හෝ වෙනත් ස්වභාවික ආපදා හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට ජනතාව විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවද කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් ආපදාවකට ලක් වී ඇති අවස්ථාවකදී ඒ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත හදිසි ඇමතුම් අංක 0112 136 222 / 0112 670 002 හෝ 117 හදිසි ඇමතුම් අංක ඔස්සේ දැනුම්දීමට කටයුතු කරන ලෙස ද ජනතාව වෙත දැනුම් දී සිටියි.