ඉරාන ජාතිකයෝ 7ක් දිවි ඇති තෙක් සිරගෙට

ධීවර බෝට්ටුවක සඟවාගෙන හෙරොයින් කිලෝ 425ක් දිවයිනට රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් මට්ටක්කුලියට ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබූ ඉරාන ජාතික ධීවරයන් 7 දෙනකුට කොළඹ මහාධිකරණය මඟින් ඊයේ (28) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ ඊයේ (28) නඩුව කැඳවූ අවස්ථාවේ බන්ධනාගාරය මඟින් විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී චුදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු දක්වමින් සිය සේවාදායකයන් සියලු චෝදනාවන්ට වරද පිළිගන්නා බව අධිකරණයට දන්වන ලදි.

ඒ අනුව විත්තිකරුවන් 7 දෙනාට ජීවිතාන්ත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අත්සන් කොට තිබෙන අවබෝධතා ගිවිසුම් අනුව විත්තිකරුවන්ගේ සිරදඬුවම් ඔවුන්ගේ මවු රටවල පිහිටි බන්ධනාගාර තුළදී ගතකළ හැකි පරිදි රටින් පිටිවහල් කිරීමට නියෝග කළේය.

මෙයට අමතරව ඔවුන් ගමන්ගත් බහුදින ධීවර යාත්‍රාව රාජසන්තක කර නාවික හමුදාව භාරයට පමුණුවන ලෙස නියම විය. දඬුවම් නියෝග මහාධිකරණ භාෂා පරිවර්තක නිලූෂිකා තෙන්නකෝන් මහත්මිය විසින් විත්තිකරුවන්ට පහදා දෙන ලදි.

මෙලෙස බරපතළ වැඩ සහිතව ජීවිතාන්ත සිරදඬුවම් නියම වූයේ ඉරාන ජාතික ධීවරයන් වන මොහොමඩ් අඩ්ඩීස් ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුටය. මොවුන් 2019 වසරේ ජූනි 12 වැනිදා මුහුදු මඟින් හෙරොයින් රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් කළ මෙහෙයුමකදී මට්ටක්කුලියට ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී කළ සොයා බැලීමේදී විත්තිකරුවන් සන්තකයේ කිලෝ 707.69ක දළ බර සහිත හෙරොයින් සැකකරුවන් සන්තකයේ තිබෙන බව සොයා ගැනිණි. සැකපිට ඉරාන ජාතික ධීවරයන් 9 දෙනකු අත්අඩංගුවට ගන්නා ලදි.

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් 1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ වර්ග (සංශෝධන) පනතේ 54 (අ) වගන්තිය යටතේ හෙරොයින් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ අධිචෝදනා 2ක් යටතේ නඩු පවරන ලදි. රජයේ රස පරීක්ෂකවරයා විසින් විත්තිකරුවන් සන්තකයේ තිබී සොයා ගන්නා ලද හෙරොයින්වල ශුද්ධ බර කිලෝ 425ක් හා ග්‍රෑම් 38ක් බව සිය වාර්තා මඟින් ප්‍රකාශ කර සිටියේය.

වසර 5කට ආසන්න කාලයක් විත්තිකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි අතර එම කාලය අතර බන්ධනාගාරයේදී සජාන් ලක්කරියන් යන 2 වැනි විත්තිකරු හා අමින් හුසේනි යන 8 වැනි විත්තිකරු මරණයට පත්විය. අනතුරුව ඉතිරි විත්තිකරුවන් වෙනුවෙන් නඩු විභාගය පැවැත්විණි. රජයේ අධිනීතිඥ රවිඳු ජයකොඩි මහතා පැමිණිල්ල මෙහෙයවිය. චුදිතයන්ගේ ඇඟිලි සලකුණු ගැනීමට හා චුදිතයන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය රාජසන්තක කිරීමට නඩු භාණ්ඩ භාරකරුට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.