අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට ප්‍රමාදයකින් තොරව අවශ්‍ය සහන සලසන ලෙසත් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙසත්, ජනාධිපති සහ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ සාකච්ඡාවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.
පවතින අයහපත් කාලගුණික ආපදා තත්ත්වය පිළිබඳ ඊයේ (27) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා:
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන් මත අඩු පීඩන තත්ත්වයක් හමුවේ වැඩි සුළං හමුවේ ඉතාමත් තදින් වැසි සහිත කාලගුණ තත්ත්වයක් රටේ පවතිනවා. එම තත්ත්වය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකතනයන්ට අනුව එය මේ මස 29 වෙනිදා දක්වා පවතින බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව දැනට රටේ දිස්ත්‍රික්ක ගණනාවක, මූලිකවම උතුර, නැඟෙනහිර පළාත, උතුරු මැද පළාත, මධ්‍යම කඳුකරය සහ දකුණු පළාත මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ අනුව සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් මේ ගංවතුර තත්ත්වයට භාජනය වෙලා. සමහර පවුල් විශාල සංඛ්‍යාවක් සහන ස්ථානවලට සහ ආරක්ෂිත ස්ථානවලට කැඳවාගෙන ගොස් තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ප්රමුඛ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සම්බන්ධවෙලා තිබෙන සියලුම ආයතන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකව රජයේ විවිධ පාර්ශ්ව සමගින් සම්බන්ධව මේ සහන කටයුතුවලට සහ මුදා ගැනීමේ කටයුතුවලට මේ වන විටත් සම්බන්ධව සිටිනවා.
ඒ වගේම ත්‍රිවිධ හමුදාවේම භට පිරිස්, රථවාහන, ගුවන් හමුදාවේ ගුවන් යානා, අවශ්‍ය ආකාරයට අපි සූදානම් කර තිබෙනවා. ගුවන්, නාවික සහ යුද හමුදාවේ තිබෙන වාහන, භට පිරිස් මඟින් අවශ්‍ය කරන ආයතන සමඟ සම්බන්ධවී මුදා ගැනීමේ කටයුතුවල සහ සහන සේවා සපයන කටයුතුවල දැනටමත් යෙදී සිටිනවා.
අද උදෑසන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූවා. සියලුම ආයතන ප්‍රධානීන් සමඟ එම සාකච්ඡාවේදී විශේෂිතවූ කරුණු මත ජනාධිපතිතුමා අගමැතිතුමිය රැස්වී සිටි සියලුම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. අවශ්‍ය කරන ප්‍රතිපාදන සඳහාත් උපදෙස් ලබා දෙනු ලැබුවා. රජයේ භාණ්ඩාගාරයට අවශ්‍ය කරන ප්‍රතිපාදන ප්‍රමාදයකින් තොරව ලබා දෙන ලෙසට අනුමැතිය දී තිබෙනවා.
වීරවිල, හිඟුරක්ගොඩ, යාපනය, අනුරාධපුර, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ස්ථානගත කර තිබෙනවා නාවික හමුදාව හැමවිටම කිසිම ප්‍රමාදයකින් තොරව අවශ්‍යකරන බෝට්ටු භට පිරිස් හැම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සම්බන්ධ වෙමින් අවශ්‍ය සහන නොපමාව ඉටු කිරීමට යොදවා තිබෙනවා.
යුද හමුදාවේ තිබෙන විශේෂිත රථ, ගංවතුර තර්ජන මැද ගමන් කිරීමට හැකි විශේෂිත රථ විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සම්බන්ධීකරණය වෙමින් සිටිනවා. අපි මීට දවස් කිහිපයක පෙර විශේෂ රථ යොදවලා අ.පො.ස. උසස් පෙළ විභාගයට සහභාගි වන දරුවන්ට අවශ්‍ය ගමනා ගමන පහසුකම් කිහිපවතාවක්ම ලබාදී තිබෙනවා. මේ සියලු දේම මනා සම්බන්ධතාවයකින් යුතුව ත්‍රිවිධ හමුදාව සහ රජයේ ආයතන ඒ නිලධාරීන්, ගම්මට්ටමින් සිටින සියලුම පුරවැසියන්ගේ සම්බන්ධීකාරකත්වය යටතේ හරියාකාරව ඉෂ්ට වෙන බවට කියන්න පුළුවන්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා,
මේ ඇති වී තිබෙන තත්ත්වය මත සමස්තයක් වශයෙන් ගත්කළ දිස්ත්‍රික්ක 18ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141ක පවුල් 66,947ක පුද්ගලයන් 230,743 දෙනෙකු මෙයින් බලපෑමට ලක්ව තිබෙනවා. මියගිය සංඛ්‍යාව 4ක් වෙනවා. මේ බලපෑමෙන් අතුරුදන් සංඛ්‍යාව 6ක් වෙනවා. තුවාල ලැබූවන් ගණන 9ක්. මේ තත්ත්වය මත පූර්ණ නිවාස හානි 8ක් සහ අර්ධ නිවාස හානි 620ක් පමණ අපිට මේ වනවිට වාර්තා වී තිබෙනවා. මේ වනවිට ආරක්ෂිත කඳවුරු 165ක පුද්ගලයන් 15,586 දෙනෙකු රඳවා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් රජයේ මැදිහත්වීමෙන් ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධ වෙමින් එම ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්න අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙන්ම ආරක්ෂක අංශ සහන කටයුතු සඳහා මැදිහත් වී සිටිනවා. නිරන්තරයෙන් අපි නිකුත් කරන අවවාදාත්මක නියෝගයන් කෙරෙහි අවධානය යොමු කරන්න. පිළිපදින්න. ඒ තුළ මුදා ගන්න පුළුවන්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව 117 දුරකතන අංකයට හදිසි අවස්ථාවක දැනුම් දෙන්න පුළුවන්. යම්කිසි සිදුවීමක් සිදුවන්නේ නම් මේ අංකයට දැනුම් දෙන්න කියා ඉල්ලීමක් කරනවා. ඒ අනුව අදාළ පාර්ශ්ව වෙත යොමු කරන්න පුළුවන්. මේ යන්ත්‍රණය දැනටමත් ක්‍රියාත්මක වෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා,
මේ වර්ධනය වූ වායු පද්ධතිය පසුගිය 21 දා සිට විශ්ලේෂණය කර තිබෙනවා. දකුණු අන්දමන් දූපත් අසල මේ තත්ත්වය ඇතිවුණා. මුලින්ම වර්ධනය වුණේ කැළඹිලි ස්වාභාවයක්. ඊට පස්සේ අඩුපීඩන කලාපයක් බිහි වුණා. මෙහි ගමන් මාර්ගය තිබුණේ වයඹට බරව උතුරු දිශාවට. මේ තත්ත්වය තුළ ගැඹුරු පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී තිබෙනවා. ඒ අනුව වත්මන් තත්ත්වය ගත්විට රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් ජීවිත හානි අවමකර ගන්න හැකිව තිබෙනවා. දැනට මේ පීඩන අවපාතය ස්ථානගත වී තිබෙන්නේ ත්‍රීකුණාමලයේ සිට කිලෝමීටර් 120ක් පමණ ඈතින්. නමුත් මෙය දැනටත් බලපෑම් කරනවා. ඒ අනුව රටේ පළාත් කිහිපයකට මිලිමීටර් 150ක පමණ වර්ෂාවක් ලැබීමේ හැකියාව තිබෙනවා. ඊයේ දිනයට සාපේක්ෂව අද වනවිට වර්ෂාව ප්‍රමාණාත්මකව අඩු වී තිබෙනවා.
දිවයිනේ අනෙකුත් පළාත්වල වර්ෂාපතනය තිබෙනවා. තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තිබෙනවා. අතරින් පතර සූර්යාලෝකය වැටෙනවා. ඒ පළාත්වල තරමක වැසි තත්ත්වයක් තමයි තිබෙන්නේ. මීට අමතරව මේක සුළි කුණාටුවක් බවට පත්ව තිබෙනවා. මේක ලංකාවට එනවා ද කියා ජනතාව බියට පත්ව තිබෙනවා. මෙය ලංකාවෙන් බැහැරට යන්නේ. ඉදිරි දින කිහිපයේ දී ලංකාවෙන් බැහැරට යන තත්ත්වයක් තමයි තිබෙන්නේ. 29 වනවිට බොහෝ විට මෙය ඉන්දියාවට ගමන් කරනවා. මේ සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කිරීම හේතු කොටගෙන ඉදිරි දින කිහිපයේ දී සුළු වශයෙන් වර්ෂාපතන තිබෙනවා. හෙට දිනයේ පළාත් කිහිපයක මිලිමීටර් 100 – 150 වැසි තිබෙනවා. මෙය ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට පරිවර්තනය වන නිසා ලංකාව තුළ සුළං තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්.
සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 – 50 දක්වා ඉහළ යනවා. මේ නිසා විශේෂයෙන්ම ධීවර ප්‍රජාව දැනුම්වත් කරනවා මේක විශාල වශයෙන් තිබෙන්නේ ලංකාවේ නැඟෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් ගැඹුරු මුහුදු තීරයේයි. ඒ නිසා මේ පද්ධතිය හේතු කොටගෙන කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඊට අමතරව මුහුදු සීමාව රළු වෙනවා. සුළං වේගය පැයට කිලෝමීටර් 80 – 90 දක්වා ඉහළ යාමේ තත්ත්වයක් තිබෙනවා. මේ නිසා ධීවර කටයුතුවල නිරත වීමේ දී අවධානය යොමු කළයුතු වෙනවා. සුළි කුණාටුවෙන් අපට වක්‍ර බලපෑමක් තිබෙන්නේ. 29 දායින් පසුව සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ දී ඇතිවන වැසි පමණයි ඇති වන්නේ. ඒ නිසා අනිසි බියක් ඇතිකර ගතයුතු නැහැ. ශ්‍රී ලංකාව තුළ තිබෙන වර්ෂාපතනයේ අඩුවීමක් තිබෙයි කියා හිතනවා.
මේ අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ෙජනරාල් (විශ්‍රාමික) උදය හේරත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර, ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ අධ්යක්ෂ නාමල් ලියනගේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.