ඉන්දියාවේ සුළුතර ජාතීන්ගේ සුභසාධනය නඟා සිටුවීමට ලබා දෙන දායකත්වයට ගෞරව කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට අමෙරිකාවේ ඇඩ්වෙන්ටිස්ට් විශ්වවිද්‍යාලය සහ එරට ඉන්දීය – අමෙරිකානු සුළුතරයන්ගේ සංගමය එක්ව සුළුතර ජාතීන් නඟා සිටුවීම සඳහා වන මාටින් ලූතර් කිං ගෝලීය සාම සම්මානය පිරිනැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ස්ලිගෝ හි පිහිටි සෙවන්ත් ඩේ ඇඩ්වන්ටිස්ට් කතෝලික දේවස්ථානයේදි පැවැති උත්සවයකදී එය නිවේදනය කළ බවත්, අමෙරිකාවේ ඉන්දිය – අමෙරිකානු ඩයස්පෝරාව තුළ සුළුතර ප්රජාවන්ගේ සුභසාධනය එක්සත් කිරීම හා ප්‍රවර්ධනය කිරිම අරමුණු කරමින් එය පැවැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අමෙරිකාවේ ඉන්දීය සම්භවයක් සහිත සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන 7 දෙනකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයකින් සැදුම්ලත් ඉන්දීය – අමෙරිකානු සුළුතරයන්ගේ සංගමයට සික්, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් සහ ඉන්දීය යුදෙව් ජාතිකයන් ඇතුළත් වන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දියාවේ යුදෙව් ප්‍රජාව වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන අතර, යුදෙව් විරෝධී ඉතිහාසයක් නොමැති ලොව එකම රට ඉන්දියාව බවත්, යුදෙව් සුළුතර ජාතීන්ගේ ආරක්ෂාව සහ පිළිගැනීම සහතික කිරීමට ඉන්දියාව එම දීර්ඝ කාලය තුළ කටයුතු කර ඇති බවත් එම උත්සවයේදී ඉන්දීය යුදෙව් නියෝජිතවරයා ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.