සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති සහ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස රජයට බල කරමින් එහි නායකයන් ඇතුළු දහස් සංඛ්‍යාත පාක්ෂිකයන් ඉස්ලාමාබාද් අගනුවර දක්වා පැවත්වූ විරෝධතා පා ගමන යුද හමුදාවෙන් එල්ල වූ දරුණු ප්‍රහාරය හේතුවෙන් අවසන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ උදෑසන සිට ඉස්ලාමාබාද් අගනුවර යථා තත්ත්වයට පත්වූ බවත්, නගරය නැවත සන්සුන් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.ඉම්රාන්ගේ බිරිය බුෂ්රා බීබිගේ සහභාගිත්වයෙන් යුතුව පැවති එම පා ගමනට එක්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පොලිසියෙන් එල්ලවූ කඳුළු ගෑස් ප්‍රහාරය මැද පෙරේදා ඉස්ලාමාබාද් නුවර ඩී චෝක් නමැති ප්‍රදේශයට එක්රැස්වී සිටි බවත්, එදින මධ්‍යම රාත්‍රියේ යුද හමුදාවෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
විරෝධතාව මැඬ පැවැත්වීමට යුද හමුදාව කැඳවීමට රජයට සිදුවූයේ අගනුවරට ඇතුළුවීම වැළැක්වීමට සංචරණ නීති පනවා තිබියදීත්, සියලු ප්‍රධාන මාර්ගවල ඉදි කළ මාර්ග බාධක බිඳ දමමින් විරෝධාතාකරුවන් නගරයට ඇතුළුවීම හේතුවෙන් බවත් වාර්තා වේ. පෙරේදා මධ්‍යම රාත්රියේදී යුද හමුදාව විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, විරෝධතා පා ගමන අවසන් කිරීමට තීරණය වී තිබියදි හමුදාවෙන් අමානුෂික ප්‍රහාරයක් එල්ලවූ බවට ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායකයන් චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.
එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව අසල මාධ්‍ය හමුවක් පැවැත්වූ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති මොෂින් නක්වි ප්‍රකාශ කර ඇත්තේ හමුදාවෙන් විසුරුවා හරිනු ලැබූ විරෝධතාකරුවන් රජයේ සහ පෞද්ගලික දේපළවලට මෙන්ම දුම්රිය ස්ථාන කිහිපයකටත් ගිනි තබා ඇති බවය. එමෙන්ම වාහන රැසකට ද විරෝධතාකරුවන් පහර දී ඇතැයි අභ්‍යන්තර කටයුතු ඇමැති වැඩිදුරටත් සඳහන් කර තිබේ. හමුදාවෙන් වෙඩි තැබීම හේතුවෙන් සිය පාක්ෂිකයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවත් ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.