ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ගැටුම අද පස්වරු 1ට ඇරඹේ

ටෙස්ට් කඩුලු 100ක් ඉක්මනින් වාර්තා කිරීමට

ප්‍රභාත් ජයසූරිය තව කඩුලු 3ක් පසුපසින්

සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1ට ඩර්බන්හිදී ආරම්භ වේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අපේක්ෂා දල්වා සිටින ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා යන කණ්ඩායම් දෙකටම මේ තරගාවලිය ඉතා වැදගත් බැවින් තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාසය වේ.

ලෝක ටෙස්ට් ශූරතා ලකුණු වගුවේ තුන්වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා පිල 55.56ක ජයග්‍රහණ ප්‍රතිශතයක් ලබා සිටින අතර, දකුණු අප්‍රිකාව 54.17ක ප්‍රතිශතයකින් 5 වැනි ස්ථානයේ සිටී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ළංව සිටින ඉන්දියාව (61.11) හා ඔස්ට්‍රේලියාව (57.69) මෙන්ම සිව්වැනි ස්ථානයේ සිටින නවසීලන්තය ද (54.55) තරගයට පිවිස සිටිති.

එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහිව පිට පිටම ජයග්‍රහණ තුනක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල මෑත කාලීනව බලාපොරොත්තු සහගත තත්ත්වයක පසුවන අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම උ‍දෙසා ශ්‍රී ලංකාවට මේ සංචාරයේ ටෙස්ට් තරග දෙක හා ඔස්ට්‍රේලියාව සමඟ තරග දෙක ජයගෙන ලකුණු සටහ‍‍නේ 69.2%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් කරා ළඟාවීමට හැකියාව ඇත.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන කිංග්ස්මේඩ් ඩර්බන් ක්‍රීඩාංගණයේ වැඩි වාසි ශ්‍රී ලංකාව සතුව පවතින අතර, ඔවුන් මෙතෙක් එම ක්‍රීඩාංගණයේ සහභාගිවූ තරග තුනෙන් එකදු තරගයක් හෝ පරාජයට පත්වී නැත. මෙහි පැවති තරග දෙකක් ජයගෙන තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

දකුණු අප්‍රිකානු තත්ත්වයන්ට හැඩ ගැසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මුල් පෙළේ ක්‍රීඩකයන් කිහිපදෙනකු සති දෙකකට කලින් පිටත්ව ගිය අතර, හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු නීල් මැකෙන්සිගේ සේවයද ලබා ගත්තේය. මේ වසරේදී ටෙස්ට් කඩුලු 26 බැගින් ලබාගනිමින් පිතිකරණ පෙළගැස්ම භීතියට පත් කළ කගීසෝ රබාඩාගෙන් හා ඩර්බන්හි දඟ පන්දුවලට හිතකර කේෂව් මහරාජ්ගෙන් බේරී සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වග බලාගත යුතුව ඇත.

කෙසේ වුවද වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ඩර්බන් තණතිල්ලේ දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් තරගයේදී කඩුලු 8ක් හා ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 6ක් දවාගෙන දැක්වූ දක්ෂතා දකුණු අප්‍රිකානුවන්ට තවමත් මතකයේ රැඳෙනු ඇත. 2022 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහි ගාලු ටෙස්ට් තරගයෙන් පසු ඇඹුල්දෙණියට ටෙස්ට් සංචිතයේ ස්ථානය අහිමිවී ගියද අතීත දක්ෂතා අනුව අද තරගයට කැඳවීමේ වැඩි අවස්ථා ඇත.

දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ඩර්බන් තණතිල්ලේ තවත් කඩුලු තුනක් ලබා ගැනීමට සමත් වුවහොත් ඔහු තම 17 වැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් කඩුලු 100ක් වාර්තා කරනු ඇත. එම වාර්තාව බිහිකිරීමට සමත් වුව‍හොත් ඉක්මණින් ටෙස්ට් කඩුලු 100ක් දවාගත් ලොව දෙවැනි පන්දු යවන්නා බවට ඔහු පත්වනු ඇත. 1895දී ඔස්ට්‍රේලියාවේ චාල්ස් ටර්නර් ටෙස්ට් තරග 17කදී කඩුලු 101ක් ලබා දෙවැනි තැන සිටින අතර, 1896දී ටෙස්ට් තරග 16කදී කඩුලු 100ක් ලබාගත් එංගලන්තයේ ජෝර්ජ් ලොහ්මන් එම වාර්තාවේ පළමු තැන සිටී.

වේග පන්දු යවන ළහිරු කුමාර ද කඩුලු 96ක් දවාගෙන ටෙස්ට් කඩුලු 100ට ආසන්නවී චමින්ද වාස්, ලසිත් මාලිංග, දිල්හාර ප්‍රනාන්දු සහ සුරංග ලක්මාල්ට පසු මේ සන්ධිස්ථානයට පැමිණෙන පස්වන ශ්‍රී ලංකා වේග පන්දු යවන්නාවීමේ සිහිනයක පසුවේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා ටෙස්ට් තරග 31ක් පවත්වා ඇති අතර, එහිදී දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග 16ක් සහ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 9ක් ජයග්‍රහණය කර තරග 6ක් විසඳුමකින් තොරව නිමාවිය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙණිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර.

පළමු තරගයට එක්වන දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය: ටෙම්බා බවුමා (නායක), ඒඩන් මාක්‍රම්, ටෝනි ද සෝර්සි, ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඩේවිඩ් බෙඩිංහැම්, කයිල් විරෙයින්, මාර්කෝ ජැන්සන්, වියන් මෝල්ඩර්, ජෙරල්ඩ් කෝට්සි, කේෂව් මහාරාජ්, කගීසෝ රබාඩා.