යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු ගමන් නවතයි

අයහපත් කාලගුණික තත්ත්වය නිසා යාපනයේ සිට ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු ගමන් කිරීම පෙරේදා (25) සිට නතර කොට තිබේ.

ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ සාමාන්‍ය බෝට්ටු ගමන් කිරීම යාපනයේ, කුරීකඩ්ඩුවාන් ජැටියේ සිට නවතා දමා ඇතත් ඉතාම හදිසි අවස්ථාවන් සඳහා නාවික හමුදාවේ සහය මත නාවික හමුදාවේ යාත්‍රා ප්‍රයෝජනයට ගන්නා බවයි.

මේ දිනවල උතුරු මුහුද රළු වී ඇති නිසා බෝට්ටු ගමනාගමනය ඉතා අනතුරුදායක බැවින් යාපනයේ සිට නාගදීපය හා වෙනත් දූපත් කරා යාමට අපේක්ෂාවෙන් දකුණේ සිට පැමිණෙන පිරිස් ඉතා කල්පනාකාරී වියයුතු බව ද සඳහන් කළේය.

කාලගුණික තත්ත්වය යහපත් අතට හැරෙනතුරු දකුණේ කණ්ඩායම් යාපනයේ දූපත් සංචාරවලට නොපැමිණීමට වගබලා ගන්නා ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.