මිථ්‍යා මතවලට එරෙහිව දියවැඩියාව පාලනයට ජනතාවගේ අවධානය යොමු විය යුතුයි-කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය කුමාර වික්‍රමසිංහ

සමාජයේ මිථ්‍යා මතවලට එරෙහිව දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම සඳහා ජනතාවගේ අවධානය යොමු විය යුතු බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඹ ජාතික රෝහලේදී ඊයේ (26) පැවති උත්සවයක් අමතමිනි. ‘දියවැඩියාව සහ යහපැවැත්ම’ තේමාවෙන් පැවති මේ දැනුම්වත් කිරීමේ වැඩසටහනට ජනමාධ්‍ය ක්ෂේත්‍ර‍ෙය් ප්‍රවීණයෝ සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“රජයේ ප්‍රතිපත්තිය සෑම පුරවැසියකුටම නොමිලේ ප්‍රතිකාර දීමයි. ජාතික ධනයෙන් විශාල මුදලක් ප්‍රතිකාර සඳහා වාර්ෂිකව වෙන්කරනවා. යම් යම් රෝග තත්ත්වයන් පාලනය කරගැනීම සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතුයි.

දියවැඩියාව කියන්නේ වසංගතයක්. මේ වනවිට තරුණ, ළමා සියලු දෙනාටම දියවැඩියාව තිබෙනවා. රටේ ජනගහනයෙන් සියයට 23කට පමණ දියවැඩියාව තිබෙන බවට හඳුනාගෙන තිබෙනවා. දියවැඩියාව හොඳ කරන්න බෑ. පාලනය කරන්න පුළුවන්. අපි කෙටි කෑම වර්ග සහ සීනි අධික ආහාර අනුභව කරනවා. නමුත් අපි ගන්නා ආහාරවල අතුරුඵලය සම්බන්ධයෙන් අපි සිතන්නේ නෑ. සමාජයේ මිථ්‍යා මතවලට එරෙහිව දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම සඳහා ජනතාවගේ අවධානය යොමු විය යුතු වෙනවා.”

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද මහතා:

“වාර්ෂිකව දියවැඩියාව සහ හෘද රෝග සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම අරමුණු කරගෙන විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. නමුත් අද වනවිට දියවැඩියාව දරුණු වසංගතයක් බවට පත්ව තිබෙනවා. පුද්ගලයන් පස් දෙනෙක් ගත්විට එයින් එක් අයකුට දියවැඩියාව තිබෙනවා. මෙහිදී රටේ මාධ්‍යයට ඉතා වැදගත් කාර්යයක් තිබෙනවා. මේ පණිවුඩය රටේ ජනතාවට ගෙනයන්න මාධ්‍යයට පුළුවන්කම තිබෙනවා.”

විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා

“මේ වනවිට ලෝක ජනගහනයෙන් මිලියන 537කට පමණ දියවැඩියාව තිබෙනවා. නමුත් දියවැඩියාව ඇතිවීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. එය ආසියානු කලාපයට බලපා තිබෙනවා. ඇතැම් පුද්ගලයන්ට දියවැඩියාව තිබුණත් මේ දක්වා හඳුනාගෙන නෑ. ඒ වගේම ස්ථුලතාව ඉහළ මට්ටමේ රටවල දියවැඩියාව ඉහළ මට්ටමක තිබෙනවා. මේ නිසා දියවැඩියාව සම්බන්ධයෙන් අපේ විශේෂ අවධානයක් යොමු විය යුතුයි.

දියවැඩියාව පිළිබඳව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගන්න පුළුවන්. පිපාසය, කෙට්ටුවීම, අධික බඩගින්න, තුවාල සුවනොවීම, අතපය හිරිගතිය සහ නිතර මූත්‍රා යෑම ආදිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මේ නිසා රෝගය හඳුනාගන්න ඉතාම පහසුයි. රුධිර පරික්ෂාවකින් මේ රෝගය හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් දෙවරක් හෝ තෙවරක් පරික්ෂා කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයෙන් සෑම ප්‍රදේශයකම සුව දිවි සායන පවත්වනවා. ඒ නිසා මේ සායන සඳහා ළඟම රෝහලට ගොස් දියවැඩියාව තිබෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂා කර ගන්න පුළුවන්. එම සායන තුළින් දියවැඩියාවට අමතරව අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ආදිය පරික්ෂා කරන්නත් පුළුවන්.”