එළැඹෙන 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පෙබරවාරි 17 වැනිදා දෙවැනි වර කියවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව තෙවැනි වර කියවීමේ අය-වැය විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මහජනතාව විසින් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු වන පරිදි හා මහජනතාවගේ බලාපොරොත්තු ඉටු වන පරිදි අපේක්ෂිත සංවර්ධනයේ ආරම්භක පියවර තබන අය-වැයක් වශයෙන් 2025 වර්ෂය වෙනුවෙන් අය-වැය සකස් කිරීම සඳහා නව රජය මඟින් අපේක්ෂා කරනු ලබන බව ඒ මහතා කියා සිටියේය.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මඟින් දක්වා ඇති වියදම් සීමාවන්ට යටත්ව සහ රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුකූලව අමාත්‍යාංශ විෂය පථයන් යටතේ ඒ ඒ අමාත්‍යාංශ මඟින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමට හැකි වන පරිදි සියලු අමාත්‍යාංශ වෙතින් යෝජනා ලබා ගැනීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ඇමැතිවරයා පැවැසීය.