රේල්ලුව යළි පීල්ලට දාමු

මෙරට තුළ ජනප්‍රිය පොදු ප්‍රවාහනය බවට පත්ව තිබෙන්නේ දුම්රිය සේවයයි. හැත්තෑව දශකය අසූව දශකය තුළ දුම්රිය සේවය සාර්ථක සේවාවක් බවට පත්ව තිබුණ ද එම සාර්ථකත්වය කෙමෙන් ගිලිහී ගොස් තිබෙන අතර අද දුම්රිය කියූ සැණින් මතයකට නැඟෙන්නේ ප්‍රමාදය සහ තදබදයයි. එයට හේතු වී ඇත්තේ අසාර්ථක පරිපාලනය සහ විෂය පිළිබඳව අවබෝධයක් නැති නිලධාරීන්ය. ඇමැතිවරුන්ය.

පසුගිය කාලයේදී දුම්රිය සේවය බිංදුවටම වැටුණේ මේ නිසාය. ඒ නිසා බිංදුවටම වැටුණු දුම්රිය සේවය නැවත නඟාසිටුවීම කාලීන අවශ්‍යතාවකි. දැන් රට තුළ දේශපාලන වෙනසක් ඇතිව තිබෙන තත්ත්වය තුළ දුම්රිය සේවය ද නැවත නඟාසිටුවීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුය. ඒ සඳහා සාම්ප්‍රදායික රාමුවෙන් මිදී අලුතින් සිතා වැඩ කළ හැකි අවංක නිලධාරීන් පිරිසක් මේ සඳහා එක් කළ යුතුය. ඒ සඳහා අතීත උදාහරණය නම් අමරණීය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයකු වන රම්පාල මහතාය. දැන් අවශ්‍යව ඇත්තේ ඒ ආකාරයේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකි. පුළුල් පරාසයක අවබෝධයක් සහිත බිමල් රත්නායක මහතා වැනි ඇමැතිවරයකුට දුම්රිය සේවය නැවත නඟාසිටුවීමට හැකියාව තිබේ. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ දුම්රිය සේවය නැවත ප්‍රතිසංවිධානය කළ යුතු බවය. එය දුම්රියේ ගමන් කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවගේ එකම ඉල්ලීමයි.