අයිපීඑල් ක්‍රිකට් ඉතිහාසයේ වයසින් අඩුම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූ වෛබාව් සූර්යවංශී ඉන්දීය රුපියල් කෝටි 1.1කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 4ක්) රාජස්ථාන් රෝයල්ස් පිල මිලට ගත්තේය. ලක්ෂ 30ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.4ක) මුදලකට අයිපීඑල් වෙන්දේසියේදී මූලික ලංසුවකට යටත් කොට සිටි සූර්යවංශී දිල්ලි කැපිටල්ස් පිල ගැනීමට සූදානම් වෙද්දී රාජස්තාන් රෝයල්ස් පිල ලක්ෂ 35කට ඉල්ලා සිටියේය.
අනතුරුව ලක්ෂ 5න් 5ට දිල්ලි කැපිටල්ස් හා රාජස්ථාන් රෝයල්ස් මිල ඉහළ දැමූ අතර, ඉන්දීය රුපියල් කෝටිය දක්වාම සටන අත්නොහැර ඉහළට ඇඳුනි. එහෙත් රාජස්ථාන් රෝයල්ස් පිල එකවරම ලක්ෂ 10කින් සූර්යවංශීගේ මිල ඉහළ දමද්දී දිල්ලි කැපිටල්ස් නිහඬ විය. ඒ සමඟ වෛබාව් සූර්යවංශී මිලට ගැනීමේ සටන නිමාවට පත් වූවේය.
වමත් පිතිකරුවෙක් වූ සූර්යවංශී යන්තම් වයස අවුරුදු 13ක් පසුකළා පමණි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයකු වන ඔහු මේ 29 වැනිදා ඩුබායිහි ආරම්භවන පිරිමි අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය සඳහා වන ඉන්දීය සංචිතයට නම්කොට තිබේ.
2011 වසරේ උපත ලද සූර්යවංශී බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් රංජි කුසලානයේ මංගල තරගයට ක්‍රීඩා කළේ අවුරුදු 12යි දින 284දීය. ඕනෑම මට්ටමක තරගයකදී ජාත්‍යන්තර අර්ධ ශතකයක් රැස්කළ ලොව ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා සූර්යවංශි වේ.
මේ යොවුන් ක්‍රීඩකයා පසුගියදා ප්‍රධාන සිරස්තලයක් බවට පත් වූයේ ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම හා ඉන්දීය 19න් පහළ කණ්ඩායම අතර චෙන්නායිහි පැවති යොවුන් ටෙස්ට් තරගයේදී පන්දු 62කදී ලකුණු 104ක් රැස් කිරීමෙනි. එය ඉන්දියානුවකු විසින් රැස් කළ වේගවත්ම යොවුන් ටෙස්ට් ශතකය සහ සමස්ත ලෝකයේ දෙවැනි වේගවත්ම යොවුන් ටෙස්ට් ශතකය බවට පත් විය.