අමාත්‍යාංශයක සාම්ප්‍රදායික නියෝජ්‍ය ඇමැතිවරයෙකු වනවාට වඩා මෙරට ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ හැඟීමකින් යුතුව, අවබෝධයෙන් කටයුතු කරන, වගකියන නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස සිය වගකීම ඉටු කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
තමාගේ වගකීම් ඉටු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයීය විෂය පථයෙන් එහා ගිය වගකීමක් ඉටු කිරීමට තමාට පැවරෙන බවත්, එම කාර්යයන් ඉටු කිරීමට තමා හදවතින්ම කැපවී සිටින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා සිය ධුරයේ වැඩ අභිනවයෙන් ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (26) එසේ ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය යනු රෝගීන්ට ඖෂධ ලබාදීමේ ආයතනයක් හෝ සෞඛ්‍ය සේවකයින් පාලනය කරන ආයතනයකට පමණක් සීමා නොවන බවත්, රෝග වළක්වා ගැනීම, රෝග පාලනය, පෝෂණය හා සුරක්ෂිතතාවය, නිරෝගී ජනතාව රෝගවලට ගොදුරුවීමෙන් වළක්වා ගැනීම ආදී මූලික කරුණුවලට පමණක් සීමා නොවී පිරිසිදු පානීය ජලය ලබාදීම, හදිසි අනතුරු අවම කිරීම ආදී කරුණු රාශියක් පිළිබඳව වගකීම් රැසක් පැවරෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
ඉන් නොනැවතී මහජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ වගකියන විශාල වගකීම් රැසක් ඇතැයි ද, නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ එක්ව මෙම වගකීම් ඉතා සාධනීය අයුරින් ඉදිරියට ඉටු කිරීම සඳහා තමන් බලාපොරොත්තු වන්නේ යැයි ද ඇමැතිවරයා පැවසුවේය.
මෙහිදී ජනමාධ්‍ය විෂය පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේ, දැනට පවතින ජනමාධ්‍ය අමාත්‍යාංශය බොහෝ වර්ධනයන්ට පාත්‍ර විය යුතු බවත්, එමෙන්ම දියුණු ප්‍රවේශයක් කරා යා යුතු බවත්ය.
ඒ පිළිබඳ අධ්‍යයනයන් සිදු කර තම රජය ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කර තිබෙන නිසා එම ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉදිරිපත් කර ඇති සැලසුම්වලට අනුකූලව වඩා දියුණු සහ වඩා මානව හිතවාදී මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපනය කිරීමට ගත යුතු සෑම පියවරක්ම ගැනීමට බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. නියෝජ්‍ය ඇමැතිවරයා වැඩ භාර ගැනීමේ මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් කේ.එම්. වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්ම මහත්මීන් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.