ඉල් විරුවන් ගොඩනැඟූ සංවිධානාත්මක, ධෛර්ය සම්පන්න, කැපකිරීම් කරන පක්ෂයක් නොතිබුණා නම් මෙරට පාලකයන් අසාර්ථක වූ විට ජනතා ආණ්ඩුවක් බිහිනොවන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ 35 වැනි ඉල් විරු සැමරුම වෙනුවෙන් පෙරේදා (23) ලන්ඩන් නගරයේ පැවැත්වූ උත්සවයකට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා ඉරාකය, බංග්ලාදේශය, කෙන්යාව වැනි රටවල ජනතාවට කළ නොහැකි වූ දෙයක් අපෙ රටට කළ හැකි වූයේ මේ ව්‍යාපාරය නිසා බව ද වැඩිදුරටත් පැවැසීය.
සුභාෂිණී ලෝගනාදන් මහත්මිය වැඩිදුරටත් මෙසේ පැවසීය.
“මේක විශේෂ ඉල් සමරුවක්. ශත වර්ෂ ගණනාවක් පුරා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අපේ රටේ එකට ජීවත් වෙනවා. හැබැයි අපි ඉතිහාසයේ කවදාවත් අහලා නෑ මේ හැමෝම එකට එකතු වෙලා, මහන්සි වෙලා ලැබූ ජයක් ගැන. ඉතිහාසෙ පළමු වතාවට පහුගිය 14 වැනිදා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකතු වෙලා අපේ රට විනාශ කළ ප්‍රභූ පවුල් පාලනය සහ ඔවුන් සමඟ වරප්‍රසාද තනතුරු වෙනුවෙන් එකතු වෙලා ජනතාව පාවාදුන් දෙමළ, මුස්ලිම් ප්‍රභූ දේශපාලනය අවසන් කළා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුවක් බිහිකළා. මීට කලින් අපේ දමිළ සහෝදර සහෝදරියන් අරගල කළේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පමණයි. හැබැයි, උතුරෙ නැඟෙනහිර ජීවත්වන දෙමළ කතා කරන ජනතාව සමහර විට නොදන්නවා ඇති මීට අවුරුදු 35කට කලින් දකුණේ මහා තරුණ සංහාරයක් වුණා. ඔවුන් සටන් කළේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝගෙම විමුක්තිය වෙනුවෙන්. අපි හැමෝටම සතුටින් සාමයෙන් ජීවත් විය හැකි ලස්සන රටක් ,ලෝකයක් ගොඩනැඟීම වෙනුවෙන්. එහෙම සටන් කළ, අරගල කළ තරුණ තරුණියන් 60,000ක් කෲර පාලකයන් ඝාතනය කළා. සමූහ මීනීවල වළ දැම්මා. පාලකයන් හිතුවා එතැනින් අරගලය අවසන් කියලා. නමුත් පාලකයන් දැනගෙන හිටියෙ නෑ මේ බිම හරි සරු බිමක් බව. මේ අසාධාරණ ක්‍රමයට විරුද්ධව ඔවුන් වළ දාපුවා ආයෙ පැළ වෙනවා ඵල දරනවා කියලා. ඒ නොවැම්බර් විරුවන් වීරවරියන්ගෙ ආදර්ශයන් කැපකිරීම්වලින් පන්නරය ලැබූ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට පුළුවන් වුණා එකිනෙකා දෙස සැකෙන් බැලූ ජාතිකත්වවලට අයිති පොදු ජනතාව එක මිටකට එකතු කරන්න. මේ 76 වසරක් දූෂිත කුරිරු පාලනය විරුද්ධව. ඒ යහපත් සිහිනය දකිමින් මිය ගිය සහෝදර සහෝදරියන්ට කළ හැකි ඉහළම සැමරීම ඔවුන් ප්‍රාර්ථනා කළ රට ගොඩනැඟීම බව මගේ හැඟීමයි.
අපි අහලා තියනවා, ඒ අරගලයේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම හිටිය බව. විජේවීර, ගමනායක සහෝදරවරුන් වගේම රංජිතම් වගේ දමිළ සහෝදරවරුන්, මොහොමඩ් නිෂ්මි වගේ මුස්ලිම් සහෝදරවරුන් ඒ අරගලයේ ඉදිරියන්ම ඉඳලා ජීවිත පරිත්‍යාග කළා. ඉතින්, ඔවුන් පෙන්වූ ජාතික සමගියේ ආදර්ශ අපි ගන්න ඕනෙ. බලය අහිමි වූ පරාජිත සිංහල, දමිළ, මුස්ලිම් දූෂිත පාලකයන් ඉදිරියේදී බලය වෙනුවෙන් නැවත ජාතිවාදය අවුස්සන්න විවිධ උපක්‍රම යොදා ගනීවි. මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලනවා, ඔවුන්ගේ උගුල්වලට අහුවෙන්න එපා. ඉල් විරුවන්ගේ ආදර්ශ අරන් අපි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට එකතු වෙලා මේ අරගලය ජයග්රහණයෙන් කෙළවර කරමු. උතුර, දකුණ, නැඟෙනහිර, බටහිර, කඳුකරේ හැමෝටම ලස්සන ජීවිතයක් උරුම වන පොහොසත් රටක් වෙනුවෙන් කැපවීමෙන් සහ විශ්වාසයෙන් වැඩ කරමු.”
එහි සමරු දේශනය කළ ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානී කමිටුවේ තුසිත රණසිංහ මහතා මෙසේ පැවැසීය.
“අපි මේ 35 වැනි ඉල් සමරුව සමරන්නේ ඓතිහාසික අවස්ථාවක. ශ්‍රී ලංකාවෙන් ලෝක වාමාංශික ව්‍යාපාරයට අලුත් ආශ්වාදයක්, පූර්වාදර්ශයක් සහ අලුත් දාර්ශනික කියැවීමක් දීපු අවස්ථාවක් මේක. ලෝකෙ බොහෝ වාමාංශික ව්‍යාපාරවල කියැවීමේ හැටියට මැතිවරණ කියන්නේ නිර්දන පන්තියට ගැනීමේ ක්‍රමයක් නෙවෙයි. ඒක ධනපති පන්තිය බලය පවත්වා ගැනීම වෙනුවෙන් හැදූ ටූල් එකක්. හැබැයි ශ්‍රී ලංකාව මේ ඔක්කොම වෙනස් කළා. අපේ පක්ෂය ලෝකෙටම අලුත් දෙයක් කර පෙන්නුවා. ජනතාව විවිධ පෙරමුණුවල සංවිධානය කිරීම තුළ මැතිවරණය පන්ති අතර බලය හුවමාරු කර ගැනීමට යොදා ගන්න පුළුවන් බව. මෙතෙක් කාලයක් ලංකාවේ විධායකයේ බලය තිබුණෙ එලීට් ක්ලාස් එකේ හෝ ඔවුන්ගේ නියෝජිතයෙක් අත පමණයි. හැබැයි අපි සමත් වුණා, මීට ඇත්ත වාමාංශික බලවේගයක නායකයකුට රටේ විධායක බලය ගැනීමට. බලන්න අලුත් පාර්ලිමේන්තුව දිහා. මෑත ඉතිහාසයේ එහෙම පාර්ලිමේන්තු බලයක් ලෝකෙ කොහෙවත් හදලා නෑ. සමානුපාතික තේරීම් ක්රමයක 2/3ක බලයක්. පත්වෙලා ඉන්නේ කවුද? මීට පෙර පාර්ලිමේන්තුවල හිටියේ මුලින්ම සුදු අධිරාජ්‍යවාදීන් බලය දීලා ගිය එයාලා යටතේ වැඩ කළ සුවච කීකරු ප්‍රභූ පවුල්වල එයාලගෙ නියෝජිතයන්. ඊළඟට එයාලගෙ ළමයි. වැන්දඹුවන්. හැබැයි අපි ගොවියන්ගෙන්, කම්කරුවන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙව්වා. ගුරුවරුන්ගෙන්, වෛද්යවරුවරුන්ගෙන්, වෘත්තිකයන්ගෙන්, වතු කම්කරුවන්ගෙන්, දේශපාලන පවුල් බලයක් නැති කාන්තාවන්ගෙන්, වෘත්තීය සමිති නායකයන්ගෙන්, ගොවි නායකයන්ගෙන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු වගේ වැඩ කරන පන්තියේ මිනිසුන්ගෙන් සහ ගැහැනුන්ගෙන්. ඒ විතරක් නෙවෙයි, මේ 1919 ඉඳන් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වවලට බෙදී දේශපාලනය කළ අපේ පන්තියේ මිනිස්සු අවුරුදු 125කට පසු අපි එකට එකතු කළා. ඉතින්, අපි ඉල්ලනවා ලෝකෙ වාමාංශික ව්‍යාපාරවලිනුත් අපව සමීපව අධ්‍යයනය කරන්න කියලා.
අපට කොහොමද මෙහෙම බලයක් ලැබුණෙ. අහම්බයකින්ද නැත්නම් හිටපු පාලකයන් අසාර්ථක වූ නිසාද? මිනිස්සු කලින් පාලකයා පන්නපු නිසාද? ලෝකෙ රටවල් කීයක පහුගිය කාලයේ පාලකයන් අසාර්ථක වුණාද? ලංකාවට පස්සෙ ඉරාකය, කෙන්යාව, බංග්ලාදේශය වගේ රටවල පාලකයන් ජනතා උද්ඝෝෂණවලින් පන්නා දැමුවා. හැබැයි ඒ රටවල ජනතාවට නොහැකිවූ දෙයක් අපි කළේ කොහොමද? අපට කොහෙන්ද ඒ බලය, අධිෂ්ඨානය සහ ඩිරෙක්ෂන් එක ලැබුණෙ? අන්න ඒකට උත්තරය හොයද්දී අපට හමුවෙනවා අපේ ආදරණීය පක්ෂය සහ ඒ අධිෂ්ඨානය සහ ඩිරෙක්ෂන් එක අපට දීලා ජීවිත පූජා කළ අප්‍රේල් සහ ඉල්මහ විරුවන්. අපි මුලින්ම කතා කළොත් මොකක්ද මේ පක්ෂය? ඇයි ලංකාවට ජනතා විමුක්ති පෙරමුණ අවශ්‍ය වුණේ? පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක අවශ්‍යතාව වෙනුවෙන් ඒක අහම්බෙන් හැදුණු තවත් පක්ෂයක්ද? නැත්නම් ඇත්ත ජාතික අවශ්‍යතාව මත බිහිවූ ව්‍යාපාරයක්ද? නිදහසෙන් පසු බලයට පත්වු එක්සත් ජාතික පක්ෂයත්, ඒකෙන්ම කැඩිලා හැදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කඳවුරත් මාරුවෙන් මාරුවට මෙරට පාලනය කළා. 1965දී විතර වෙද්දී මෙයාලා රට ප්‍රපාතයට ඇදලා දාලා ජනතාව ජාතිකත්වවලට බෙදලා අසරණ කර තියෙද්දී, සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පැත්තෙ සිටගන්නවා වෙනුවට වරදාන වරප්‍රසාද වෙනුවෙන් මේ දූෂිත පවුල් එක්කම ලැගලා හිටියා. ලංකා බිමේ ඇත්ත ඉඩක් මතු වෙලා තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ බහුතර මිනිස්සු වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වූ ඔවුන්ගේම ව්‍යාපාරයකට. අවුරුදු 22 ක දීප්තිමත් වෛද්‍ය ශිෂ්‍යයෙක් වූ රෝහණ විජේවීර සහෝදරයා 1965දී මේ ව්‍යාපාරයට මුලපිරුවේ අන්න ඒ සමාජ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන්.
ආරම්භයේ ඉඳන් මේ ව්‍යාපාරයේ අරමුණ වුණේ සියලුම ජාතිකත්වවල බහුතර මිනිසුන්ගේ රාජ්‍ය බලයක් පිහිටුවීම සහ ඒ බලය ඇතුළෙ හැමෝටම සාධාරණ අවස්ථා ලැබෙන කිසිවකුට විශේෂ වරප්‍රසාද නැති සාධාරණ සමාජයක් බිහිකිරීම. ඒ හරහා පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් බහුතර මිනිසුන්ට උරුම කිරීම. ජවිපෙ ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ දේශපාලනයේදී පමණක් නෙවෙයි, තහනමට ලක්වෙලා මර්දනයට ලක්වෙලා තියෙද්දීත් පෙනී සිටියා. 1977, 81, 83 වගේ කාලයේ පවා පාලකයන් ජාතිවාදය අවුස්සද්දී අපි පෙනී සිටියේ ජාතිවාදයට විරුද්ධව. ඒ වගේම දේශපාලන බලය සම්බන්ධ කාරණයේදී අපට අලුතින් හිතන්න ඔවුන් පුරුදු කළා. ලෝකෙ බොහෝ වාමාංශික ව්‍යාපාර, පක්ෂ රුසියාව, චීනය, කියුබාව කොපි කරන්න යද්දී අපේ පක්ෂෙ අපට ඉගැන්නුවේ අලුතෙන් හිතන්න අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න. රෝහණ සහෝදරයා 1970දීත් කිව්වෙ අපේ රටේ තියෙන්නේ වෙනස් සංස්කෘතියක පරිසරයක් බවයි. උපක්‍රම උපාය මාර්ග කොපි කර බෑ. සෝවියට සපත්තුව අපට ලොකු වැඩියි, ඒ වගේම චීන සපත්තුව අපට පොඩි වැඩියි කියලයි ඔහු අපට ඉගැන්නුවේ. ඉතින් බංග්ලාදේශයේ, කෙන්යාවේ, ඉරාකයේ සාමාන්‍ය ජනතාව දූෂිත ඒකාධිපති ආණ්ඩු පන්නලා නොගිය දුරකට යන්න අවශ්‍ය සංවිධාන ශක්තිය නිර්මාණාත්මක අදහස් ඇති මහා ගබඩාව, පුස්තකාලය තමා රෝහණ සහෝදරයා ඇතුළු කණ්ඩායම හැදූ පරම්පරා තුනක් පුරා සංවර්ධනය කළ මේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ.
මේ දවස්වල ජාත්‍යන්තර මාධ්‍ය කියන ප්‍රධාන දෙයක් 3%ක් ලැබූ කෙනා අවුරුදු 4කින් ජනාධිපති වුණා, මන්ත්රීකම් 3ක් තිබු පක්ෂයක් ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු බලය ගත්තා කියලා. ඒක කොහොමද සිදු වුණේ. අපට ඒ බලය දුන්නේ කවුද? අදෘශ්‍යමාන බලවේගයක්ද? අපට කොහොමද හයියක්, අධිෂ්ඨානයක්, දරාගැනීමේ හැකියාවක්, බලාපොරොත්තු තබාගෙන වැඩ කිරීමේ හැකියාවක් ලැබුණෙ. 3% වෙද්දී මේක අත්හැරලා නොයන්න ධෛර්යය දුන්නේ කවුද? අන්න එතකොට අපට ආයෙ හමුවෙනවා 71, 88, 89 වීරයන් සහ වීරවරියන්. 70 බලයට පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුව අපව හැඳින්වූයේ වහාම මර්දනය කර විනාශ කරන්න ඕන සංවිධානයක් ලෙස. ඒ අපි අපේ පක්ෂය ආයුධ සන්නද්ධ අරගලයක් ගැන හිතන්නවත් කලින්. ඔවුන් අපව ඝාතනය කර නායකයන් හිරකඳවුරුවල ගාල් කළා. හැබැයි ආපහු බිංදුවෙන් පටන් අරන් අපි පක්ෂෙ හැදුවා. 81 සංවර්ධන සභා ඡන්දයෙන් අපේ නියෝජිතයන් පත් වෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව බලය ගන්න ගත් දෙවන උත්සාහයත් 82, 83 ජේ. ආර්. වළක්වනවා. අපි පාර්ලිමේන්තුවට එන්න තිබ්බෙ 1982. හැබැයි ජේ. ආර්. ඒ ඡන්දය අවලංගු කළා. ඊට පස්සෙ ලෝකෙ කිසිම කෙනෙක් අපි කළා කියල කියන්නෙ නැති යූ. එන්. පී. ආණ්ඩුවේ මැරයන් ඇති කළ කළු ජූලිය අපේ පිට පටවා අපව තහනම් සංවිධානයක් කර මර්දනය කරන්න පටන් ගත්තා.1982 ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන්ම ඔවුන් අවබෝධ කර ගත්තා, අපට ප්රජාතන්ත්රවාදී දේශපාලනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණොත් වසර කිහිපයක් තුළ අපි බලය ගැනීමේ ආසන්නයට එනවා කියලා. ඉතින් ජේ. ආර්ගෙ ආණ්ඩුව අපව සමූල ඝාතනය කළා. අපේ පක්ෂයේ නිර්මාතෘ ප්‍රධාන, ලේකම් ඇතුළු මධ්‍යම කාරක සභාව අති බහුතරය ඝාතනය කළා. ඔවුන්ගේ මාධ්‍ය බලය යොදාගෙන අපට අවලාද නැඟුවා. වැරදි ඉතිහාසයක් අපට විරුද්ධව ලිව්වා. හැබැයි ඒත් අපේ අරමුණ යහපත්. හැමෝටම සාධාරණ, ලස්සන ජීවිතයක් දීමේ අරමුණ ඔවුන්ට විනාශ කරන්න බැරි වුණා. ඉතින් 3 දෙනා 159ක් වුණේ කොහොමද කියලා විදේශ මාධ්‍ය පුදුම වුණාට 3 දෙනා 159 කරන්න පුළුවන් කියන අධිෂ්ඨානයෙන් ඒ වෙනුවෙන් බලාපොරොත්තු අත් නොහැර වැඩ කරන්න අපට කියලා දුන්නේ අවුරුදු 35කට කලින් දිවි පිදූ ඔවුන්.
පාලකයන් කොයිතරම් උත්සාහ කළත් උතුරු නැඟෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනාගන්න කාටවත් බැරි වුණා. ඒ වගේම කඳුකර දෙමළ ජනතාව අපට ඡන්දය දුන්නේ කොහොමද කියලා? දෙමළ සහ මුස්ලිම් ජාතිවාදී නායකයන් ඒ ජනතාවට අපි ගැන අවිශ්වාසය හදද්දී ඔවුන් අපව විශ්වාස කරනතුරු අත් නොහැර, ඔවුන් සමඟ දේශපාලනය කරන්න, අපව ජාතිවාදී ගොඩට දාන්න හදද්දී ජාතිවාදී නොවී දේශපාලනය කරන්න ආදර්ශ දුන්නෙත් 88, 89 දිවි පිදූ ඒ සහෝදර සහෝදරියන්මයි. 1978දී යාපනේ ජනතාව අමතන රෝහණ විජේවීරගෙ ඔළුව පැලෙන්න දෙමළ ජාතිවාදීන් ගහනවා. හැබැයි සහෝදරයා අපට පෙන්නුවා, ජාතිවාදයට උත්තරය ජාතිවාදය නෙවෙයි කියලා. ඔහු ජේ. ආර්ගෙ ආණ්ඩුවෙන් මරන්න හොයද්දී කැලේ හැංගිලා ඉන්න අතරෙත් ජාතිවාදයෙන් තොරව ශ්‍රී ලාංකික ජාතිය හදන විදිය ගැන පර්යේෂණ කෘතියක් රචනා කළා. නිෂ්මිලා රංජිතම්ලා මේ ව්‍යාපාරය වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කළා. ඔවුන් ජාතිවාදී නොවී අපට දුන් ආදර්ශ තමා හේතු වුණේ අත්හරින්නේ නැතුව දෙමළ, මුස්ලිම් ජනතාව අප වෙත දිනා ගන්නාතුරු ඔවුන්ට විශ්වාසයෙන් වැඩ කරන්න.
ඔවුන් අපට ඇහුම්කම් දෙනතුරු නැවත නැවත කතා කරන්න. ඒ අධිෂ්ඨානය අපට ලැබුණෙ අවුරුදු 35කට කලින් දස වද දීලා මරා දමද්දීත් තමන්ගේ අරමුණ නොමරා මිය ගිය ඒ විරුවන්ගෙන්. අපි මෙතැනින් ඉස්සරහට යන්නේ කොහොමද? අපට ඒකට ආදර්ශ දෙන්නේ කවුද? දැන් අපට රාජ්‍ය බලයේ විශාල පංගුවක් ලැබී තියනවා. ඉතින්, අපි මේ රට මෙහෙයවන්න ඕන දියුණු ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟීමට. දියුණු ආර්ථිකයක් සහ ඒ ආර්ථිකයේ ප්රතිලාභ සාධාරණව බෙදී යන සමාජයක් ගොඩනැඟීමට අවශ්‍ය වෙනවා. මේකෙදී අපට අවශ්‍ය වෙනවා, පුද්ගලික ලාභ අපේක්ෂා වෙනුවෙන් වැඩ නොකරන, බලයෙන් ඉදිමිලා මිනිස්සු පීඩාවට පත් නොකරන, ප්‍රසිද්ධිය කීර්තිය වෙනුවෙන් වැඩ නොකරන, යහපත් සමාජයක් වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. එහෙම අය අපට ඉන්නවා ලක්ෂ ගණනින් අපේ ව්‍යාපාරය ඇතුළෙ. මේ වෙද්දීත් මේ වෙනුවෙන් වගකීම් කරට අරන් වැඩබිමේ කරන බොහෝමයක් අය කවුරුත් දන්නෙවත් නෑ. එහෙම වැඩ කරන්න අපට ආදර්ශ දුන්නේ ඉල් විරුවන්. වෛද්‍යවරයෙක් විදියට සාපේක්ෂව යහපත් පුද්ගලික ජීවිතයක් ගෙන යන්න හැකියාව තිබු විජේවීර සහෝදරයා තිස්සමහාරාම නගරයේ කුලියට මුට්ට කර ගහලා මේ ව්‍යාපාරය ගොඩනඟන්න දායක වෙලා අපට දුන්නේ ඒ ආදර්ශය. 88, 89 තම ජීවිතය පූජා කළ වෙනුර එදිරිසිංහලා, සත්යපාලවන්නිගමලා, විජේදාස ලියනාරච්චිලා වගේ සහෝදර සහෝදරියන් දහස් ගණනක් අපට මේක ජයග්රහණයෙන් කෙළවර කරන්න ඕන ආදර්ශ ඕනෑතරම් දී තියෙනවා.
දැන් අපි බලය ගත් ව්‍යාපාරයක සාමාජිකයන් කියන එක අපි මතක තබා ගත යුතුයි. දැන් මුළු ලෝකෙම මිනිස්සු බලාගෙන ඉන්නේ අපට බලය ලැබුණාම අපේ භාවිතාව ජනතාවාදී එකක්ද කියලා. අපි හැමෝම අපේ භාවිතාව තුළ පෙන්වන්න ඕන බලය තියෙද්දීත් අපි වැඩ කරන්නෙත් ඊට කලින් වගේම පුද්ගලික අභිමතාර්ථවලින් තොරව කියලා. ඉතින් ඉල් විරුවන්ට උපහාර දක්වන්න තියන හොඳම විදිය අපි දැන් ආරම්භ කර ඉවරයි. දැන් මේක ඔවුන් පැතූ ලෝකය වෙත ගමන් කරන එක නවත්වන්න කාටවත් බෑ. ඒ වෙනුවෙන් හැමෝටම ධෛර්යය, ශක්තිය ප්‍රාර්ථනා කරනවා.”
ජවිපෙ එක්සත් රාජධානී සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඉල් විරුවන් පැතූ ලෝකය ගොඩනැඟීමට අවශ්‍ය දේශපාලන බලය සහිතව ඒ වෙනුවෙන් වැඩ අරඹා ඇති වටපිටාවක මෙවර ඉල් සමරුව විශේෂ ඉල් සමරුවක් බවයි.
ජවිපෙ හිටපු ලේකම් උපතිස්ස ගමනායක මහතාගේ බිරිය වන කරුණා ගමනායක මහත්මිය සඳහන් කළේ 71 අරගලයේදී සහ 88, 89 අරගල සමයේ කැපවීම් කරමින්, ජීවිත පූජා කළ අය දේශද්‍රෝහීන් කරමින් මිනීමරු පාලකයන් ලියූ ඉතිහාසය වෙනස් කර ඇති වටපිටාවක මෙවර ඉල් විරු සැමරුම පැවැත්වෙන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානී ශාඛාවේ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මේ උත්සවයට ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායකගේ බිරිය වන කරුණා ගමනායක ඇතුළු ජවිපෙ පැරණි සාමාජික සාමාජිකාවෝ එක් වූහ.