ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යන්ත්‍රණය ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට ඊයේ (25) එක්වෙමිනි. කොළඹ-07, විද්‍යා මාවතේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේදී නියෝජ්‍ය ඇමැතිවරයා වැඩ භාර ගන්නා ලදි. පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවදානම් ප්‍රදේශවල සිදුවන ආපදා වළක්වාලීම සඳහා නව විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් ස්වාභාවික ව්‍යසනවලට හේතුවක් බවත් ආයතන මට්ටමෙන් නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක කර නැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආපදා කළමනාකරණ නීති පද්ධතිය සකස් කර තිබෙන්නේ යම්කිසි අධ්‍යයනයකින් පසුව බවත්, එම නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේ වගකීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේ ක්‍රියා කරන ඕනෑම නිලධාරියෙක් වෙනුවෙන් තමා පෙනී සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ආපදා කළමනාකරණයට අදාළ නෛතික රාමුව ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ව්‍යසන කළමනාකරණය සඳහා රජය දරන වියදම ඉතා විශාල බවද නීති නිවැරදිව ක්‍රියාත්මක කිරීම තුළින් එම මුදල් අවම කර ගැනීමට හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වයිස් එයාර් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.