අමෙරිකානුවන් 6 දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 166 දෙනකුට මරු කැඳවමින් වසර 2008 නොවැම්බරයේ 26 වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවර ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 16ක් සපිරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කළ පාකිස්තානයේ ලෂ්කරි ටයිබා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 9 දෙනකු ද ඉන්දීය ආරක්ෂක අංශයේ වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ අතර, දකුණු මුම්බායි නුවර ටාජ් මහල් පැලස් හෝටලය ඇතුළු ස්ථාන රැසක දින 4ක් පුරා සිදුවූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එම ප්‍රහාරය සඳහා ත්රස්තවාදීන් පුහුණු කිරීම සහ සැලසුම් කිරීම චෝදනාවට ලක් කරමින් ඊට වසර දෙකකට පසු අමෙරිකාව විසින් ද මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් සිව්දෙනකුට වරෙන්තු නිකුත් කර තිබිණි.
ඊට වසර දෙකකට පසුව අමෙරිකාව විසින් අත්අඩංගුවට ගෙන වසර 13ක සිර දඬුවම් නියම කළ කැනඩාවේ පදිංචිව සිටි පාකිස්තාන හමුදාවේ හිටපු වෛද්‍යවරයකු වූ ටහව්වුර් හුසේන් රානා නමැති පුද්ගලයා ඉන්දියාවට බාර දීමට පසුගිය වසරේදි අමෙරිකානු අධිකරණයක් තීන්දු කළ බවත්, එම තීන්දුවට එරෙහිව ඔහු එරට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය පසුගියදා ප්‍රතික්ෂේප කර තිබේ.
2008 වසරේ නොවැම්බර් 29 දක්වා පැවැති ත්‍රස්ත ප්‍රහාර හා ඉන්දීය ආරක්ෂක අංශ අතර ගැටුම පැය 60කට වැඩි කාලයක් පැවැති අතර, එහිදී දිවි බේරාගත් එකම ත්‍රස්තවාදී සාමාජිකයා වූ අජ්මාල් කසාබ් පසුව ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. 2010 වසරේදී මරණ දණ්ඩනය නියමවූ අජ්මාල් කසාබ් 2012 අගෝස්තුවේ පූනේ නුවර බන්ධනාගාරයේදී එල්ලා මරා දමනු ලැබූ බව වාර්තා වේ.