වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් බිලියන 5.9ක් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පියවර ගත් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කරයි. මෙම මුදල් දිස්ත්‍රික්ක 25ක වී ගොවීන් හයලක්ෂ දොළොස්දහස් දෙසිය හතළිස් අටකට(612,248) හිමිවන අතර වගා කෙරෙන කුඹුරු හෙක්ටයාර ප්‍රමාණය 468, 869කි.
පොහොර සහනාධාරය සඳහා මහා භාණ්ඩාගාරයෙන් අවසන්වරට ඉල්ලා ඇති මුදල රුපියල් මිලියන 1479කි. එම මුදලද අද(26) දින හිමිවනු ඇතැයිද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා කියයි. මෙම පොහොර සහනාධාරයේ වැඩිම ප්‍රතිලාභීන් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ලබා දී ඇති මුදල රුපියල් කෝටි 43.29කි. වැඩිම ප්‍රතිලාභීන් දෙවැනි ස්ථානයට වාර්තාවන්නේ මඩකළපුව දිස්ත්‍රික්කයෙනි. සංඛ්‍යාව ලබා දී ඇති මුදල රුපියල් කෝටි 25.78 කි.
පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට වත්මන් රජය කටයුතු කළ අතර මුල් අදියර යටතේ රුපියල් 15,000ක් ද දෙවැනි අදියර යටතේ රුපියල් 10,000ක්ද ලබා දෙන ලදි. ඒ අනුව රුපියල් 25,000 බැගින් පොහොර සහනාධාර සම්පූරණයෙන්ම ලබාදුන් ගොවීන් සංඛ්‍යාව 217, 985කි. ලබා දී ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි 177.6කි. වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර 175,616කි.
ප්‍රථම අදියර යටතේ හිමිවන රුපියල් 15,000ක මුදල පමණක් මේ වන විට හිමිවී ඇති ගොවීන් සංඛ්‍යාව 228, 866කි. ලබා දී ඇති මුදල රුපියල් කෝටි 268.34කි.වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර 178,898කි. ඒ අනුව රුපියල් 25,000ක් බැගින්වූ රජයේ පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම සහ රුපියල් 15,000ක ප්‍රථම අදියරේ මුදල්, ගොවි ගිණුම් සඳහා බැර වූ ගොවීන් සංඛ්‍යාව 446, 851කි. මුදල රුපියල් බිලියන 4.45කි. වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර 354,514කි.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ .බී.රෝහණ රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මහ කන්නයේ වී වගාව ආරම්භ කළ බවට ගොවීන් දැනුම් දුන් විගසම මෙම පොහොර සහනාධාරය සඳහා වූ මුදල් ගොවීන්ට නිකුත් කරන බවයි. රුපියල් 10, 000 බැගින් වූ පොහොර සහනාධාරයේ දෙවන අදියර මේ වන විට ගොවීන් වෙත නිකුත් කරමින් පවතිනවා. රජයේ පොහොර සහනාධාරය ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳ කෙරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.’යැයිද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.