ඒෂාන් මාලිංගටත් කෝටි 4ක්
කමිඳු හා දුෂ්මන්ත කෝටි දෙකහමාරකට විකිණෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18.12ක්) සහ මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.4කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15.19ක්) මිලදී ගත් අතර, වේග පන්දු යවන නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.6කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.53ක්) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් මිලදී ගත්තේය. එයට අමතරව කමිඳු මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 75 බැගින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.58ක්) පිළිවෙලින් සන්රයිස් හයිද්‍රාබාද් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් මිලදී ගත්හ. වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 1.20කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.14ක්) සන්රයිස් හයිද්‍රාබාද් මිලදී ගත්තේය.
එහෙත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ හා යොවුන් දඟ පන්දු යවන විජයකාන්ත වියෙස්කාන්ත් කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට උනන්දු නොවූහ. මධුසංඛ මෙයට පෙර මුම්බායි ඉන්දියන්ස් කෝටි 4.6කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15.89ක්) මිලදී ගත් අතර, 23 හැවිරිදි විජයකාන්ත වියෙස්කාන්ත් පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කළේය.
සෞදි අරාබියේ රියාද් නුවරදී ඊයේ නිමාවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී පැතුම් හා වියෙස්කාන්ත් ඉන්දීය රුපියල් ලක්ෂ 75 බැගින් වූ ලංසුවක් යටතේ (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.58ක්) ඉදිරිපත් කළ අතර, ඒ ආකාරයේ එංගලන්තයේ ආදිල් රෂීඩ්, දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක අකීල් හොසේන්, සිම්බාබ්වේ සිකන්ද රාසා, ඔස්ට්‍රේලියාවේ ස්ටිව් ස්මිත් හා ඇෆ්ගනිස්තානයේ මුජිබර් උර් රහ්මාන් වැනි ක්‍රීඩකයින්ට ද මිලක් තීරණය නොවුණි.
ඊයේ දිනයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉන්දීය ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් ඉන්දීය රුපියල් කෝටි 10. 75කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 37.11ක්) මිලට ගැනීම විශේෂත්වයකි.
ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වඩාත්ම මිල අධික ක්‍රීඩකයා බවට පත්වූ රිෂාබ් පාන්ට් ලක්නව් සුපර් ජැයන්ට්ස් පිල ඉන්දීය රුපියල් කෝටි 27කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 93කට) මිලට ගත්තේය.
අයිපීඑල් වෙන්දේසියේදී දෙවැනි වටිනාකම හිමි වූ ශ්‍රේයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75 කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 92කට) පන්ජාබ් කිංග්ස් මිලදී ගත්තේය. එය පසුගිය වසරේ කොල්කටා නයිට් රයිඩර්ස් රුපියල් කෝටි 24.75කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 85.28කට) අලෙවි වූ මිචෙල් ස්ටාක්ගේ වාර්තාව අබිබවා යෑමකි.