පක්ෂ පාට භේද නොතකා ජනතා අපේක්ෂා ඉටු­ක­රන්න-මල්වතු නාහි­මියෝ කථා­නා­ය­කට කියති

පාර්ලි­මේ­න්තුව තුළ පසු­ගිය කාල­යේදී මන්ත්‍රී­ව­රුන් හැසි­රුණු ආකා­රය සම්බ­න්ධ­යෙන් ජන­තාව පැහැ­දී­ම­කින් නොසිටි බවත් නවක මන්ත්‍රී­ව­රුන්ද බහු­ත­ර­යක් නියෝ­ජ­නය කරන වත්මන් පාර්ලි­මේ­න්තුව ආද­ර්ශ­වත් එකක් වනු ඇතැයි විශ්වා­ස­යක් පව­තින බවත් මල්වතු පාර්ශ්වයේ මහ­නා­යක අති­පූජ්‍ය තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහ­නා­හි­මියෝ පව­සති.

කථා­නා­ය­ක­ව­ර­යාට පවා බැණ වැදී හිරි­හැර කරන තර­මට පසු­ගිය කාල­යේදී මහ­ජන නියෝ­ජි­ත­යන්ගේ හැසි­රීම පාර්ලි­මේ­න්තුව තුළ ඉතා පහත් තත්ත්ව­යට ඇද වැටුණු බවත් අද ඇතැම් විදේශ රට­වල පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ නොමනා හැසි­රීම් දකි­න­විට ඔවුන් ඒවා අපේ පාර්ලි­මේ­න්තු­වෙන් ඉගෙන ගත්තා ද යන සැකය මතු­වන බවත් උන්ව­හන්සේ කීහ.

මල්වතු මහ­නා­හි­මි­යන් එසේ පැව­සුවේ කථා­නා­යක ආචාර්ය අශෝක රන්වල මහතා පෙරේදා (24) පස්ව­රුවේ මල්වතු මහා විහා­ර­යට ගොස් උන්ව­හන්සේ බැහැ­දැක ආශී­ර්වාද ලබා­ගත් අව­ස්ථා­වේ­දීය.

වත්මන් ආණ්ඩුව වෙත ජන­තාව බලය ලබා දුන්නේ විශාල බලා­පො­රොත්තු ගොන්නක් සමඟ බවත් රට යම් අර්බු­ද­කාරී තත්ත්ව­යක තිබෙන මෙම අව­ස්ථාවේ ජනතා අපේක්ෂා ඉටු කිරී­මට සියලු කණ්ඩා­යම් පක්ෂ භේද නොතකා එකට එකතු වී වැඩ කළ යුතුව තිබෙන බවත් මහ­නා­හි­මියෝ අව­ධා­ර­ණය කළහ.

පාර්ලි­මේ­න්තුවේ ගෞර­වය ආරක්ෂා කර ගනි­මින් දැන් පක්ෂ විපක්ෂ භේද නොතකා සියලු දෙනා රටේ අනා­ග­තය ගැන සිතා එකතු වී වැඩ කළ යුතු බවත් ජනතා අපේ­ක්ෂාව වන්නේ ද එය බවත් උන්ව­හන්සේ කීහ.

මෙහි දී අද­හස් දැක්වූ කථා­නා­යක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂය ගත්තත් විප­ක්ෂය ගත්තත් ඒ පත්වූ මන්ත්‍රී­වරු නියෝ­ජ­නය කරන ජන­තාව ආද­ර්ශ­වත් පාර්ලි­මේ­න්තු­වක් බලා­පො­රොත්තු වන බවත් ඒ උදාර පර­මා­ර්ථය මෙම ජන­ව­රම තුළ නිරූ­ප­ණය වන බවත් පැව­සු­වේය.

පක්ෂ විපක්ෂ භේද­ය­කින් තොරව ස්වාධී­නව කට­යුතු කර­මින් පාර්ලි­මේ­න්තුවේ ගෞර­වය ආරක්ෂා කිරී­මට තමන් කැප­වන බව ද ඒ මහතා කීය.

අනා­ගත පර­ම්ප­රා­වට හොඳ රටක් නිර්මා­ණය කර­න්නට ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රී­වරු සියලු දෙනා තම තමන්ගේ වග­කීම හඳු­නා­ගෙන කට­යුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම පැව­සු­වේය.

මෙම අව­ස්ථා­වට ප්‍රවා­හන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණ­සේන, පාර්ලි­මේන්තු මන්ත්‍රී තනුර දිසා­නා­යක, ජාතික ජන බල­වේ­ගයේ විධා­යක සභික චන්ද්‍ර­සිරි විජේ­නා­යක මහ­ත්ව­රුද සහ­භාගි වූහ.