ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් සමාජ මාධ්‍ය ඔස්සේ කර තිබෙන ප්‍රකාශ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කරන බවත් ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව පරීක්ෂණයක් කරන්නේ ද යන්න පිළිබඳ මීළඟ සභාවාරයේ දී සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් තීරණයක් ගන්නා බවත් කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා පවසයි.
තනි පුද්ගලයෙක් ලෙස මන්ත්‍රීවරයා කර තිබෙන ප්‍රකාශය සමඟ ඔහු නියෝජනය කරන ප්‍රදේශයේ ජනතාවගේ අභිලාෂය සමපාත නොවන බවත් පසුගිය මහමැතිවරණයේ දී උතුරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ ආකාරයෙන් එය පැහැදිලි වන බවත් ඒ මහතා කීය. මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කථානායකවරයා මේ බව පැවසුවේය. රාමනාදන් මන්ත්‍රීවරයා විපක්ෂ නායක අසුනේ වාඩි වී යම් ආන්දෝලනාත්මක හැසිරීමක් ප්‍රකට කර තිබෙන්නේ කථානායකවරයා පත්කර ගැනීමේ නිල කටයුතු ආරම්භවීමට ප්‍රථමව යැයි ද හෙතෙම අවධාරණය කළේය. මහජන නියෝජිතයකු පාර්ලිමේන්තුව තුළ සිදු කරන හැසිරීම තුළින් ජනතාවට ප්‍රකට කරන්නේ තමන් තුළ ඇති විනය, ශික්ෂණය හා හැදියාව බවත් යම් කෙනෙක් එය ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට අසමත් වන්නේ නම් එය බරපතළ ප්‍රශ්නයක් බවත් කථානායකවරයා පැවසුවේය.
මෙහි දී යම් සදාචාර විරෝධී ක්‍රියාවක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත් අභිනව සභාවාරයේ පූර්ව කටයුත්තක් ලෙස සිදුව තිබෙන මෙම ක්‍රියාව පිළිබඳ තීරණයක් ගත හැකි වන්නේ විධිමත් පරීක්ෂණයකින් පසුව බවත් රන්වල මහතා කීවේය.
පසුගිය මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව නිරූපණය වන ජනවරම තුළ නිරූපණය වන්නේ ගෞරවනීය පාර්ලිමේන්තුවක් යන්න බවත් සාමූහිකව තීන්දු තීරණ ගැනීම ඔස්සේ ප්රජාතන්ත්රවාදයේ ගුණ මෙරටින් ලෝකයට පෙන්වාදිය හැකි ආකාරයේ පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීමේ වගකීම සියලු මහජන නියෝජිතයන්ට පැවරෙන බවත් කථානායකවරයා ප්‍රකාශ කළේය.