පාර්ලිමේන්තුව තුළ පසුගිය කාලයේදී මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් ජනතාව පැහැදීමකින් නොසිටි බවත් නවක මන්ත්‍රීවරුන්ද බහුතරයක් නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තුව ආදර්ශවත් එකක් වනු ඇතැයි විශ්වාසයක් පවතින බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.
කථානායකවරයාට පවා බැණ වැදී හිරිහැර කරන තරමට පසුගිය කාලයේදී මහජන නියෝජිතයන්ගේ හැසිරීම පාර්ලිමේන්තුව තුළ ඉතා පහත් තත්ත්වයට ඇද වැටුණු බවත් අද ඇතැම් විදේශ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරීම් දකිනවිට ඔවුන් ඒවා අපේ පාර්ලිමේන්තුවෙන් ඉගෙන ගත්තා ද යන සැකය මතුවන බවත් උන්වහන්සේ කීහ.
මල්වතු මහනාහිමියන් එසේ පැවසුවේ කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා පෙරේදා (24) පස්වරුවේ මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේදීය.
වත්මන් ආණ්ඩුව වෙත ජනතාව බලය ලබා දුන්නේ විශාල බලාපොරොත්තු ගොන්නක් සමඟ බවත් රට යම් අර්බුදකාරී තත්ත්වයක තිබෙන මෙම අවස්ථාවේ ජනතා අපේක්ෂා ඉටු කිරීමට සියලු කණ්ඩායම් පක්ෂ භේද නොතකා එකට එකතු වී වැඩ කළ යුතුව තිබෙන බවත් මහනාහිමියෝ අවධාරණය කළහ.
පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් දැන් පක්ෂ විපක්ෂ භේද නොතකා සියලු දෙනා රටේ අනාගතය ගැන සිතා එකතු වී වැඩ කළ යුතු බවත් ජනතා අපේක්ෂාව වන්නේ ද එය බවත් උන්වහන්සේ කීහ.
මෙහි දී අදහස් දැක්වූ කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂය ගත්තත් විපක්ෂය ගත්තත් ඒ පත්වූ මන්ත්‍රීවරු නියෝජනය කරන ජනතාව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු වන බවත් ඒ උදාර පරමාර්ථය මෙම ජනවරම තුළ නිරූපණය වන බවත් පැවසුවේය.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ස්වාධීනව කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමට තමන් කැපවන බව ද ඒ මහතා කීය.
අනාගත පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කරන්නට ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා තම තමන්ගේ වගකීම හඳුනාගෙන කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම පැවසුවේය.
මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, ජාතික ජන බලවේගයේ විධායක සභික චන්ද්‍රසිරි විජේනායක මහත්වරුද සහභාගි වූහ.