ජාතික ඒකාබද්ධතා නිලධාරීන්ට සන්නිවේදන-තාක්ෂණික උපකරණ

ජාතික සමගිය ආගමික සුහදත්වය සංහිඳියාව වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සඳහා සන්නිවේදන සහ තාක්ෂණික උපකරණ බෙදා දීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් (Julie Chung) මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි ජාතික ඒකාබද්ධතා අංශ කාර්යාලයේදී පසුගියදා (22) පෙරවරුවේ සිදුවිණි.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) SCORE ව්‍යාපෘතිය මේ සඳහා අනුග්‍රහය දී තිබේ. ලැප්ටොප් පරිගණක 61ක් ඇතුළු සන්නිවේදන හා තාක්ෂණික උපකරණ බෙදා දීම මෙහිදී සිදු වූ අතර, පරිගණක උපකරණ බෙදා දීමට අදාළව ලිපි ලේඛන හුවමාරු කිරීම ද මෙහිදී සිදු විය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ SCORE ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අංශයේ ප්‍රධානී J.Kaartthigeyan සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශයේ අතිරේක ලේකම් පී. කුගනාදන් යන මහත්වරුන් උපකරණ ලබාදීමට අදාළ ලිපි ලේඛන සඳහා අත්සන් කරන ලදි.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය මගින් SCORE ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණ වන පරිදි පසුගිය වසර දෙකක කාලය තුළ ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් 368ක් ක්‍රියාත්මක කර තිබේ.

මෙම උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙසේ ද කීය.

“ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය, ආගමික සුහදත්වය, සංහිඳියාව වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ලබා දෙන සහයෝගය පිළිබඳ අමෙරිකානු තානාපතිනිය ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. වත්මන් රජය පිළිබඳ දැඩි විශ්වාසයෙන් ජනතාව අති විශාල ජනවරමක් ලබා දුන්නා. අපි ඒ ජනවරමට අනුව කටයුතු කිරීමේදී ජාතීන් අතර එකමුතුකම සංහිඳියාව වැඩිදියුණු කිරීම මූලික වගකීමක් ලෙස සලකනු ලබනවා. වත්මන් රජයට ලැබුණු ජනවරම අනුවම එකිනෙකා වෙන් වෙන් වශයෙන් හැඳින්වූ කාලය අවසන්ව සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකිය යුතු කාලය එළඹ තිබෙනවා. ජාති ආගම් ලෙස එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය අත්‍යවශ්‍ය කරුණක් බව සඳහන් කළ යුතුයි. නීතියේ ආධිපත්‍ය මෙන්ම රට තුළ සාමය සංහිඳියාව වැඩිදියුණු කිරීම සඳහා ජාතික ඒකාබද්ධතාව ප්‍රධානයි. සන්නිවේදන හා තාක්ෂණික උපකරණ ලබා දීම තුළින් ජාතික ඒකාබද්ධතා ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත්ව වත්මන් රජයේ අරමුණු සාක්ෂාත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ද මෙහිදී අදහස් පළ කළාය.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ වූ ආයතනයේ සභාපති නීතිඥ, මහේෂ් කටුලන්ද යන මහත්වරුන් ඇතුළු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය, ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ වූ කාර්යාලය, හානිපූර්ණ කාර්යාලය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ SCORE ව්‍යාපෘතියේ හා ජාතික ඒකාබද්ධතා අංශයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්වූහ.