පොහොර සහනාධාර ගැටලුවට කඩිනමින් විසඳුම් දෙනවා-කෘෂිකර්ම පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න වැඩ භාර ගනිමින් කියයි

පොහොර සහනාධාරය පිළිබඳව යම් යම් ප්‍රදේශවල මතු වී ඇති ගැටලු ඉතා ඉක්මනින්ම නිරාකරණය කරන බව කෘෂිකර්ම, පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

එමෙන්ම මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ ද ගැටලු රැසක් පැනනැඟී ඇති බවත් ඒ සඳහා ද කඩිනමින් විසඳුම් ලබා දෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

කෘෂිකර්ම, පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පසුගියදා (22) බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි අරඹමින් මෙම අදහස් පළ කළේය. මේ අවස්ථාවේදී ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති සුසිල් රණසිංහ මහතා ද සිය ධුරයේ රාජකාරි ඇරඹීමේ ලේඛන අත්සන් තැබීමේ කටයුතු සිදු කරන ලදි.

එහිදී නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා මෙසේ අදහස් පළ කළේය.

“අද මා කෘෂිකර්ම පශු සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස වැඩ භාර ගත්තා. රටේ ගොවි ජනතාව මුහුණදෙන ගැටලු මොනවද කියලා අපට හොඳ අදහසක් තියෙනවා. අප ඒවා හොඳින් හඳුනාගෙන තිබෙනවා. ඒ ගැටලුවලට විසඳුම් සොයන්නට තමයි ජනතාව අපට රට භාර දුන්නේ. පසුගිය කාලයේ මුළු රටේම ගොවි ජනතාව සමඟ ගොවි බිම්වල අප කළ කර්තව්‍යයන්, ගොවි බිම්වල හඳුනාගත් ප්‍රශ්න, මේවට අප උත්තර සෙව්වා. අප මේවාට යෝජනා කර වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියල්ලම මේ මහ පො‍ළවේ පැළ කරලා විසඳුම් ලබා දෙන්නයි අපි කටයුතු කරන්නේ. ගොවි ජනතාවට පමණක් නොවේ ගොවියා, පාරිභෝගිකයා සහ අතරමැදියා යන පාර්ශ්ව තුනම මේ අමාත්‍යාංශයට සම්බන්ධ වනවා. මේ පාර්ශ්ව තුනේම ප්‍රශ්නවලට උත්තර සැපයීමට අප මැදිහත් වනවා. කෘෂිකර්මාන්තයට අදාළව අප ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම අප ක්‍රියාවට නඟනවා.

ගොවි ජනතාව මේ වන විට මුහුණදී ඇති ගැටලු කීපයක් තිබෙනවා. වී වගාව දැන් ආරම්භ කරලා, පොහොර සහනාධාරය ගැන යම් යම් තැන්වල ගැටලු මතුවී තිබෙනවා සමහර තැන්වල. ඒවා ඉතා ඉක්මනින්ම අප නිරාකරණය කරනවා. අපි අනිවාර්යයෙන්ම ගොවි ජනතාව ඇතුළු සියලු දෙනා එක්කරගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා.

ගොවි ජනතාව සමඟ එකතු වී කළ කර්තව්‍යවල සියලු අත්දැකීම් යොදා ගන්නවා මේ ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑමට. සැමදෙනාගේම උදවු අවශ්‍යයි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න. අපට මෙය තනියම ඉදිරියට ගෙනයන්න බෑ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපේ අඩුපාඩුකම්, වැරදි පෙන්වා දෙන්න. ඒවා භාර ගන්න අප නිහතමානීව සූදානම්. ඒ වගේම අමාත්‍යාංශයට අදාළ සියලු ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථාවල නිලධාරීන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මෙය සාමූහික කටයුත්තක් ලෙස ඉදිරියට ගෙන යන්නට සහාය දෙන ලෙසයි.” යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහ අනුබද්ධ ආයතනවල නිලධාරීහු ද එක්ව සිටියහ.