සංචාරක ශ්රී ලංකා පිල සහ දකුණු අප්රිකාව අතර තවත් දින දෙකකින් ආරම්භ වන තරග 2කින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්රීඩාංගණ දෙකේම වැඩි වාසි ඉතිහාසය පුරා ශ්රී ලංකාව සතුව පවතී. එබැවින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ අපේක්ෂා දල්වා සිටින ශ්රී ලංකා ක්රීඩකයන්ට තරගාවලිය ආරම්භයේදීම යහපත් මානසික තත්ත්වයක් ගොඩනැඟී තිබේ.
දකුණු අප්රිකාවට එරෙහි තරග දෙකකින් සමන්විත තරගාවලියේ ජයග්රහණය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම උදෙසා ඉතා වැදගත්ම සාධකයකි. මේ නිසා ශ්රී ලංකා – දකුණු අප්රිකා තරගාවලිය කෙරෙහි විශාල අවධානයක් යොමුව පවතින අතර, පළමු ටෙස්ට් තරගය අනිද්දා (27) ඩර්බන්හිදී ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය ලබන මස 5 වැනිදා ගෙබාහා සාන්ත ජෝජ් පාර්ක් හිදී ආරම්භ වේ.
එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහිව පිට පිටම ජයග්රහණ තුනක් ලබා ගනිමින් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් පිල මෑතකාලීනව බලාපොරොත්තුසහගත තත්ත්වයක පසු වේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම උදෙසා ශ්රී ලංකාවට තවත් තරග 4ක් ඉතිරිව ඇති අතර, එම තරග හතරම ජයග්රහණය කළහොත්, ලකුණු සටහනේ 69.2%ක ජයග්රාහී ප්රතිශතයක් කරා ළඟා වනු ඇත.
දකුණු අප්රිකානු ක්රීඩකයෝ තම මවුබිමේ දී ටෙස්ට් තරගාවලියක් සඳහා එක් වෙන්නේ මේ වසර ආරම්භයේ ඉන්දියාව සමඟ පැවති තරගාවලියෙන් අනතුරුවය. එම තරගාවලියේ අවසන් තරගයේදී දකුණු අප්රිකාවට කඩුලු 7ක කම්පනසහගත පරාජයක් හිමි විය. කෙසේ වෙතත් ඉන් අනතුරුව නවසීලන්තයේ දී දකුණු අප්රිකානුවෝ තරග 2-0ක් ලෙස අන්ත පරාජයක් විඳි අතර, බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී දී තරග 2කින් යුත් තරගාවලිය 1-0ක් ලෙසින් සහ බංග්ලාදේශයට එරෙහි තරගාවලිය 2-0ක ජයග්රහණයක් ලැබීය.
පළමු තරගය පැවැත්වෙන කිංග්ස්මර්ඩ් ඩර්බන් තණතිල්ලේ ශ්රී ලංකා පිල මෙතෙක් ටෙස්ට් තරග 3කට සහභාගිවී ඇති අතර, එයින් දෙකක ජය ශ්රී ලංකාව සතුකර ගත් අතර, අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූවේය. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 2019 තරග වාරයේදී ඩර්බන් තණතිල්ලේ ලකුණු 304ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා පිල අවසන් කඩුල්ලේදී විස්මිත ජයග්රහණයක් වාර්තා කළේය. අංක 5 පිතිකරු කුසල් ජනිත් පන්දු 200කදී හයේ 5ක් හා හතරේ පහර 12ක් සමඟ නොදැවී ලකුණු 153ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ගෙබාහා සාන්ත ජෝජ්පාර්ක්හිදී ශ්රී ලංකා පිල සහ දකුණු අප්රිකාව අතර ටෙස්ට් තරග 2ක් පවත්වා ඇති අතර, එහිදී දෙපිලම තරගය බැගින් ජයගෙන ඇත. දකුණු අප්රිකාවේ 2019 තරග වාරයේ අවසන් තරගය කඩුලු 8කින් ජයගත් ශ්රී ලංකා පිල තරගාවලිය 2-0ක් ලෙස අවසන් කළ අතර, එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 80ක් හා ඕෂධ ප්රනාන්දු නොදැවී ලකුණු 85ක් ලබා ශ්රී ලංකා ජයග්රහණය පහසු කළහ.
දකුණු අප්රිකානු තත්ත්වයන්ට හැඩගැසීම වෙනුවෙන් ශ්රී ලංකා මුල් පෙළේ ක්රීඩකයන් කිහිපදෙනකු සති දෙකකට කලින් පිටත්ව ගිය අතර, හිටපු දකුණු අප්රිකානු පිතිකරු නීල් මැකෙන්සිගේ සේවයද ලබා ගත්තේය. මැකෙන්සි දැනට දකුණු අප්රිකාවේ සිටින ක්රීඩකයන් සමඟ වැඩ කරමින් සිටින අතර, එරට තත්ත්වයන් හා තණතිලිවල හැසිරීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ. මෙයට පෙර ශ්රී ලංකා පිල එංගලන්තයේ සිදුකළ සංචාරයේදී ප්රවීණ එංගලන්ත හිටපු ක්රීඩක ඉයන් බෙල් භාවිත කළ ප්රවේශයට සමානව මැකෙන්සිගේ සේවය ලබා තිබීම ප්රතිඵලදායක වනු ඇතැයි විශ්වාස කෙරේ.