රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන මහතා ඉවත් කර නිසි බලධාරියෙක් ඒ සඳහා පත්කර ඇති බැවින් නව උපකුලපති තනතුර සඳහා නව දෙනකුගේ තරගයක් හටගෙන ඇතැයි විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහි දී මුල් අවස්ථාවේ මහාචාර්යවරුන් එකොළොස් දෙනකුගේ නම් උපකුලපති තනතුර සඳහා උත්සාහ කරන බවට ප්‍රකාශ වුණද පසුව එය දසදෙනකු දක්වා වෙනස් විය. ඒ අතරිනුත් එක් මහාචාර්යවරයකු ජාතික විද්‍යා පදනමේ සභාපති ධුරය භාරගෙන ඇති බැවින් මේ වන විට එය මහාචාර්යවරුන් නව දෙනකු අතර තරගයක් බවට පත්ව ඇතැයි යන්න විශ්වවිද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අදහස වී ඇත. මෙම මහාචාර්යවරුන් පිරිස වෛද්‍ය පීඨය, කෘෂිකර්ම පීඨය, කළමනාකරණ හා මූල්‍ය පීඨය, ධීවර හා තාක්ෂණ පීඨය, ඉංජිනේරු පීඨය හා තාක්ෂණ පීඨය නියෝජනය කරන අය බව විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නවදෙනා අතරිනුත් මහාචාර්යවරුන් සිව් දෙනකු ඉදිරියෙන් සිටිනු ඇතැයි යන්න විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ අදහස වී ඇති අතර එම හතර දෙනා අතරට විශ්වවිද්‍යාලයේ වත්මන් නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් චන්දන එදිරිවීර මහතා ද වෙයි.
උපකුලපතිවරයකු පත් කිරීමේ ක්‍රමවේදය අනුව මුලින්ම විශ්වවිද්‍යාල පාලක සභාව විසින් අයදුම්පත් ඉදිරිපත් කරන ලද මහාචාර්යවරුන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ඉන් වඩාත් සුදුසුකම් ලබන තිදෙනකු අමාත්‍යවරයාගේ නිර්දේශ සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර එම තිදෙනාට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පරීක්ෂණ අවස්ථාවකට යොමු කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එලෙස පරීක්ෂණ අවස්ථාව අවසානයේ දී අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට උපකුලපති තනතුර සඳහා පත් කිරීමට සුදුසු මහාචාර්යවරයාගේ නම නිර්දේශ කිරීමට නියමිත අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදුකරන බව ද විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය පැවසුවේය.
ඇතැම්විට අමාත්‍යවරයා විසින්ම පත් කිරීම් සිදුකරනු ලබන අවස්ථාද තිබූ බව ඔවුන් සඳහන් කළේය.
ඒ අනුව විශ්වවිද්‍යාල පාලක සභාවේ පරීක්ෂණයෙන් පසු නිර්දේශ කරන තිදෙනා අතරට විද්‍යා පීඨය, කළමනාකරණ හා මූල්‍ය පීඨය සහ ධීවර හා තාක්ෂණ පීඨය නියෝජනය කරමින් ඉදිරිපත්ව ඇති මහාචාර්යවරුන් තිදෙනකු සුදුසුකම් ලබනු ඇතැයි විශ්වාස කරන අතර විශ්වවිද්‍යාලයේ සේම ආයතන කිහිපයක පරිපාලන අත්දැකීම් ඇති ධීවර හා තාක්ෂණ පීඨය නියෝජනය කරමින් ඉදිරිපත්ව ඇති මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාට උපකුලපති තනතුරට පත්වීම සඳහා ඉන් වැඩි අවස්ථාවක් ඇති බව ද විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. රුහුණ විශ්වවිද්‍යාලයේ ආරම්භයේ සිට මේ දක්වා පත්ව ඇති උපකුලපතිවරුන් වෛද්‍ය පීඨය හා කෘෂිකර්ම පීඨය නියෝජනය කරමින් පත්ව ඇති අතර මෙවර වෙනත් පීඨයක මහාචාර්යවරයකු එම තනතුරට පත් වුවහොත් එය වාර්තාගතවන අවස්ථාවක් බවත් මෙවර බොහෝවිට එලෙස විය හැකි බවත් විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.