දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් 25, 26 සහ 27 යන දින තුනේදී පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වේ.
නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධානය කර තිබේ.
25 වැනි සඳුදා පෙ.ව. 9.30ට පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහලේකම්, නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත වේ.
මෙම තෙදින වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්යභාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර, මන්ත්‍රීවරයන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තවද දූෂණ විරෝධී පනත මඟින් ස්ථාපිත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලීන් පිළිබඳව මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව ද දැනුවත් කිරීමට නියමිත වේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මඟින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්ව හා කාර්යයන් පිළිබඳව ද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ද නියමිතය.