කළහකාරී ලෙස හැසිරුණු කැනේඩියානු මගියකු අඩි තිස්දහසක් ඉහළින් පියාසර කරමින් තිබූ එයාර් අමෙරිකා ගුවන්යානයක දොරටුව හැරීමට උත්සාහ ගැනීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ මිල්වූකි නුවර සිට ඩලාස් නුවර දක්වා පියාසර කරමින් තිබූ එම ගුවන්යානයේදී එම සිදුවීම වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
යානය පියාසර කරමින් තිබියදී ගුවන් සේවිකාවක වෙත පැමිණි එම මගියා වහාම ගුවන්යානයෙන් පිටවීමට අවශ්‍ය බවත්, ඒ සඳහා දොරටුව හැර දෙන ලෙසත් ඉල්ලා ඇති අතර, එම ඉල්ලීම ගුවන් සේවිකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු ඔහු කලබලයට පත්ව දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අනතුරුව එහි සිටි මගීන් තිදෙනකු ගුවන් සේවිකාවගේ සහායට පැමිණ ඇතැයි ද, ඔවුන් කළහකාරී මගියා මෙල්ල කිරීමට සමත්වී ඇතැයි ද වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීමෙන් පසු නියමිත වේලාවට ඩලාස් ගුවන්තොටුපොළ වෙත ළඟාවීමෙන් පසු එම මගියා ආරක්ෂක නිලධාරීන්ට භාර දී ඇති අතර, ඔහු මානසික වෛද්‍යවරයකු වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.