ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ පර්ත්හිදී ආරම්භ වූ බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ සංචාරක ඉන්දීය පළමු ඉනිම ලකුණු 150කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ.
කෙසේ වෙතත් පළමු දිනයට තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව අසීරු තත්ත්වයක පසු වූයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 67ක් රැස් කරමිනි. ඒ අනුව තරගයේ පළමු දිනයේදී කඩුලු 17ක් බිඳ වැටිණි.
දිනය නිමා වන විට කඩුලු 3ක් අතැතිව සිටින ඔස්ට්‍රේලියාව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 83ක් පසුපසින් සිටී.
ඇලෙක්ස් කේරී ලකුණු 19ක් සහ මිචෙල් ස්ටාක් ලකුණු 6ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඔස්ට්‍රේලියා ඉනිමේ දැවී ගිය පිතිකරුවන් 7 දෙනා අතරින් ටැවිස් හෙට් රැස් කළ ලකුණු 11 ඉහළම ලකුණු සංඛ්‍යාව විය. නායක ජස්ප්‍රීට් බුම්රා ලකුණු 17කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් සහ හර්ෂිත් රානා කඩුල්ලක් දවා ගත්හ.
සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන නිතිෂ් කුමාර් රෙඩ්ඩි රැස් කළ ලකුණු 41 ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව විය. රිෂාබ් පාන්ට් ලකුණු 37ක් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 26ක් රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී ජොෂ් හේසල්වුඩ් කඩුලු 4ක්, මිචෙල් මාෂ්, මිචෙල් ස්ටාක් හ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත්හ.