කරදිය, මිරිදිය ධීවර කර්මාන්ත දියුණු කරමින් ඉදිරි අවුරුදු පහේ ජාතික ආර්ථිකයට ධීවර ක්ෂේත්රයෙන් සැලකිය යුතු ආදායමක් ලබා දීමට අපේක්ෂා කරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පැවසීය.
ඒ සඳහා මෙරට ධීවර ක්ෂේත්රය තාක්ෂණික වශයෙන් තවත් දියුණු කළ යුතු බවත් ඉදිරියේදී ඒ සඳහා AI තාක්ෂණය මෙන්ම ධීවර ක්ෂේත්රයට අදාළ සියලු තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීමට සැලසුම් කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
ධීවර නියෝජ්‍ය ඇමැති ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් ඊයේ (22) ධීවර අමාත්‍යාංශයේ පැවැති උත්සවයේදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බැව් පැවැසීය. ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය. එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ අදහස් ද පළ කළේය. ධීවර අමාත්‍යාංශය මට හොඳට හුරුපුරුදු තැනක්. මීට පෙර මම මේ අමාත්‍යාංශයට පැමිණ තිබෙන්නේ උද්ඝෝෂකයෙක් ලෙසයි. ඊට අමතරව ධීවරයන්ගේ ඉල්ලීම් පිළිබඳව ගැටලුවලට ධීවර ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට මා මෙයට පෙර පැමිණියා. ඒ අපි එදා අවේ ධීවර අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නයි. අද ආවේ මේ රටේ ධීවරයන් පිළිබඳව වගකීම් භාරගෙන ධීවර ඇමැතිවරයා, ධීවර ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ ඒ වගකීම් ඉටු කරන්නයි. අපේ රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සඳහා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කළේ මේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට හැකි ප්‍රධාන ප්‍රභවයන් අතරින් ප්‍රධාන කුලුනු තුනක් වන බවයි. කෘෂි කර්මාන්තය, ධීවර හා කර්මාන්ත ක්ෂේත්‍ර ඒ කුලුනු තුන බවත් සඳහන් වුණා. ධීවර කටයුතු ගත් විට මේ අමාත්‍යාංශයට විශාල තැනක් ලැබෙනවා. ධීවර ක්ෂේත්රය කරදිය, මිරිදිය මෙන්ම දෙදිය ධීවර කර්මාන්ත සංවර්ධනයේදී මේ අමාත්‍යාංශයට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා.
අපි ලෝකය දෙස බැලුවට සාගර සම්පතින් අප රටට ඩොලර් ගෙන ඒමේ නිසි වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ධීවර ඇමැතිවරයා සමඟ එක්ව ධීවර අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කර මේ සඳහා ගත යුතු පියවර සකසන්න. මේ රටේ පුද්ගලයකුගේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑම් 64ක් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්වත් කර තිබෙනවා. නමුත් එය තවමත් පවතින්නේ ග්‍රෑම් 40ක ප්‍රමාණයක. ඒ නිසා ධීවර අමාත්‍යාංශයේ මූලික වගකීමක් කියා මා විශ්වාස කරනවා, මේ ඉලක්කය කරා පැමිණීමට ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කිරීම. ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව ඉටු කරන්න, ජනතාවගේ බත් පත සරි කරන්න, ජාතික ආර්ථිකයට ශක්තියක් දෙන්න අපි කටයුතු කරනවා. මේ රටේ ධීවරයන් 315,000ක් සිටිනවා. මෙයට වක්‍රව සම්බන්ධ වන ධීවර කර්මාත්තය සමඟ එක් වන ධීවර පවුල්වලින් සම්බන්ධ වන පාර්ශ්වයන්ද සමඟ ලක්ෂ 20ක පමණ ප්‍රජාවක් මේ කර්මාන්තයත් සමඟ සබැඳියාවක් පවතිනවා. ධීවර ඇමැතිවරයාත් මාත් ඇතුළු සියලු නිලධාරීන්ට විශාල වගකීමක් මේ ධීවර අමාත්‍යාංශයේ කටයුතුවලදී පැවරී තිබෙනවා. ලංකාවේ ඉතා පුළුල් පරාසයන් තිබෙන්නේ ධීවර අමාත්‍යාංශයෙයි. මෙය දැවැන්ත ආර්ථික සම්පතක්. ඩොලර් උල්පතක් වූ ධීවර ක්ෂේත්රය අප දියුණු කළ යුතුයි.
දළ දේශීය නිෂ්පාදනයට 2001 දී මෙරට ධීවර කර්මාන්තයේ දායකත්ව සියයට 2.1ක් වෙනවා. එය දැන් සියයට 1ක් පමණ වෙලා තිබෙනවා. මේ අංගය ප්රශස්ත මට්ටමකට ගෙන ඒමට මේ රජය යටතේ කටයුතු කරනවා. ගියවර මේ රටේ සමස්ත රාජ්‍ය වියදමින් 0.8ක ප්‍රමාණයක් පමණයි ධීවර අමාත්‍යාංශයට වෙන් වී තිබුණේ. ජනාධිපතිතුමා තම රාජාසන කතාවේදී ධීවර ක්ෂේත්රයට විශාල බරක් තැබුවා. ලබන වසර සඳහා ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුමෙන් සැලකිය යුතු මුදලක් අප ක්ෂේත්රයට වෙන්වෙතැයි කියා බලාපොරොත්තු වෙනවා. එය ධීවර ක්ෂේත්රය ශක්තිමත් කරන්නට අප යොදා ගන්නවා. කරදිය මෙන්ම මේ රටේ අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව ධීවර කර්මාන්තය ද දියුණු කරමින් ඉදිරි අවුරුදු පහේ ජාතික ආර්ථිකයට සැලකිය යුතු ආදායමක් ලබා දීමට අපේක්ෂා කරනවා.
අපේ ධීවර ක්ෂේත්රය තාක්ෂණික වශයෙන් තවත් දියුණු කළ යුතුයි. ධීවරයා නව තාක්ෂණය වෙතට යෑමට බියක් දක්වනවා. එය නැති කළ යුතුයි. ඉදිරියේදී ඒඅයි තාක්ෂණය මෙන්ම ධීවර ක්ෂේත්රයට අදාළ සියලු තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දෙමින් මෙරට ධීවර ක්ෂේත්රය තාක්ෂණික වශයෙන් දියුණු කිරීමටත් අපේක්ෂා කරනවා. ඒ සඳහා වත්මත් ජනාධිපතිගෙන් අපට පූර්ණ සහාය ලැබේවි. එහිදී ධීවර ඇමැතිත් මාත් එක ගමනක් යනවා. එදා ධීවර ඇමැති හා නියෝජ්‍ය ඇමැති අතර තිබූ ගැටලු අප අතර නැහැ. උතුරු, දකුණ සුසංයෝගය අපේ ධීවර ක්ෂේත්රය දියුණු කරන්න අප යොදා ගන්නවා’ යැයිද නියෝජය ඇමැතිවරයා කීය.