අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් ජම්පටා වීදියේ පිහිටි විහාරස්ථානයක වැසිකිළියක් තුළ ගෙල කපාගෙන මියගොස් සිටිය දී පෙරේදා (21) රාත්‍රී කාලයේ දී හමු වූ බව වෙරළබඩ පොලීසිය සඳහන් කරයි.
මෙම සිසුවා අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ විදුලි තාක්ෂණවේදය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබමින් සිටි අයෙකි. අවුරුදු 25ක් වයසැති මෙම සිසුවා අනුරාධපුර, රඹෑවේ කේන්දෑව, කොනකුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වෙරළබඩ පොලීසිය සඳහන් කළේය. මෙම සිසුවා මරදානේ පිහිටි පෞද්ගලික ආයතනයකින් විදුලි තාක්ෂණවේදය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලැබීමට යොමු කර තිබී ඇති බැවින් කොළඹට පැමිණ සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.
පුහුණු කාලය අවසන් වන තුරු ඔහු නවාතැන් ගෙන සිට ඇත්තේ ජම්පටා වීදියේ පිහිටි විහාරස්ථානයක බෝඩිම් කාමරයකය. සිසුවා පෙරේදා (21) සවස පුහුණුවෙන් පසු විහාරස්ථානයට පැමිණ නැවත රාත්‍රී කාලයේ පිටව ගොස් රාත්‍රී ආහාරයද රැගෙන පැමිණ ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ඒ පැමිණි සිසුවා බෝඩිමේ පොදු වැසිකිළියට ගොස් ඇති අතර, බොහෝ වේලාවක් යන තුරු පිටතට පැමිණ නැති බැවින් ඒ ගැන බෝඩිම් කාමරවල නවාතැන් ගෙන සිටින සෙසු අය මෙන්ම විහාරස්ථානයේ හිමිවරු සොයා බලා ඇත. කොතරම් ඔහුට කතා කළත් වැසිකිළියේ ඇතුළතින් වසා තිබුණු දොර විවෘත නොකිරීමත් ඇතුළතින් කිසිදු ශබ්දයක් නොඇසීමත් හේතුවෙන් පොලීසියට මේ බව දැනුම්දී තිබේ. ඒ අනුව පොලීසියේ නිලධාරින් කිහිපදෙනෙක් එහි පැමිණ දොර කඩා කළ පරීක්ෂාවේදී ගෙල කැපීමකට ලක්ව රුධිරය වහනය වී මියගොස් සිටි අයුරු දැක ඇත.
පොලිස් විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඔහු විසින්ම ගෙල කපාගෙන ඇති බවය. ඒ සඳහා යොදාගත් පිහිතලයක්ද වැසිකිළියේ තිබී සොයාගෙන ඇත. වැසිකිළිය ඇතුළතින්ද වසා තිබීම හේතුවෙන් පිටස්තර අයෙකුගේ වැඩක් යැයි සැක කළ නොහැකි බව පොලීසිය සඳහන් කළේය. මෙම සිසුවා මෙසේ ගෙල කපාගෙන සියදිවි හානිකර ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නැති බව පොලීසිය සඳහන් කළේය.