ස්ථාවර නියෝගවලට අනුකූලව අපක්ෂපාතීව කටයුතු කිරීම කථානායකගේ වගකීමක්-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් සුබ පැතුම්

දහවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත් වූ ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතා වෙත විපක්ෂයේ සුභාශිංසන පිරිනමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය.

පාර්ලිමේන්තු සභා ගැබ තුළ අපක්ෂපාතීව, විනිවිදභාවයෙන් කටයුතු කිරීම අභිනව කථානායකවරයා වෙත පැවරෙන වගකීමක් බව ද ඒ මහතා පැවසුවේය.

දහ වැනි පාර්ලිමේන්තු සභා ගැබ තුළදී අභිනවයෙන් පත් වූ කථානායක ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතාට සුභාශිංසන එක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

ඒ මහතා මෙසේද පැවසුවේය.

අද දින කථානායකවරයා විදිහට පත් වූ ඔබතුමාට අප සියලුදෙනාගේ සුභාශිංසන පුද කරනවා.

විශේෂයෙන්ම කථානායකවරයා විදිහට ඔබතුමා සතු වැදගත් වගකීමක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම ඔබතුමාටභාරයි.

මේ 225 දෙනාගේම මහජන සේවාව නිසි අයුරින් ඉටු කිරීමට ඔබතුමාගේ සහාය ඔවුන්ට වැදගත්.

විශේෂයෙන්ම අපේ හෘදයාංගම සතුට ඔබතුමාට ප්‍රකාශ කරනවා. ඔබතුමාගේ වගකීම ව්‍යවස්ථානුකූලව නියමාකාරයෙන් ස්ථාවර නියෝගවලට අනුව කරන්න හැකියාව ලැබේවායි කියා අපි ප්‍රාර්ථනා කරනවා.