වයඹ පළාත් සභාව මඟින් ගුරුවරුන් බඳවා ගැනීමට පවත්වන ලද තරග විභාගයක සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා හේතුවෙන් එම විභාගයේ ප්‍රතිඵල අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමකට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් සිවු දෙනකුට ලබන දෙසැම්බර් මස 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරු ලාල් ආර්. බණ්ඩාර මහතා නොතීසි නිකුත් කර ඇත. මෙලෙස නොතීසි නිකුත් වූයේ වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එන්.එම්.ජේ. ප්‍රනාන්දු, වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් අයි.එම්. ඉන්දික ඉලංගකෝන් යන අයටය.
එම ගුරු තරග විභාගයට පෙනී සිට රැකියා අවස්ථා අහිමි වූ උපාධිධාරීන් 15 දෙනකු එක්ව ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් පෙරේදා (20) විභාගයට ගත් මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස නොතීසී නිකුත් කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සංජීව විජේපාල මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය. පෙත්සම්කරුවන් අධිකරණයට කියා සිටියේ මෙරට විශ්ව විද්‍යාල රැසකින්ම උපාධිය හිමිකරගෙන සිටින තමන් වයඹ පළාත් සභාව විසින් 2023.10.20 වැනි දින නිකුත් කරන ලද රජයේ ගැසට් පත්‍රයේ සඳහන්ව තිබූ වයඹ පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ තරග විභාගයට අයැදුම් කළ බවත් ඒ අනුව ඊට අදාළ තරග විභාගය 2024.03.16 වැනි දින පැවැත්වූ බවත්ය.
එම තරග විභාගය අයදුම්කරුවන් 8211ක සහභාගිත්වයෙන් පවත්වා තිබුණද එහි ප්‍රතිඵල පෞද්ගලික මට්ටමෙන් නිකුත් කිරීමක් හෝ වයඹ පළාත් රාජ්‍ය කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ද පළ කිරීමක් කර නොතිබූ බැවින් ආරම්භයේ සිටම මේ තරග විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු විනිවිදභාවයක් දක්නට නොලැබුණු බව ද පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
විභාගයේ ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් නොකර තිබියදී විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 1169ක් පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා කැඳවීමට කටයුතු කර , ඊට සහභාගි වූ අයැදුම්කරුවන් අතරින් 664 දෙනෙකු සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වැනි පන්තියේ 1 (අ) ශ්‍රේණියට තෝරාගෙන තිබූ බව ද පෙත්සමේ සඳහන් කර තිබේ.
මේ තරග විභාගය ආරම්භයේ සිටම විනිවිදභාවයෙන් තොර අක්‍රමිකතාවලින් ගහන හා නීත්‍යානුකූලභාවයෙන් තොර පරීක්ෂණ මණ්ඩලවලින් යුතු වූ බවටත් පෙන්වා දෙන පෙත්සම්කරුවන්, විවිධ දේශපාලන හා පෞද්ගලික සබඳතා සහ මූල්‍යමය වටිනාකම් මත එම බඳවා ගැනීම් කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව ද සඳහන් කර ඇත.
ඒ අනුව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ සංජීව විජේපාල මහතා කියා සිටියේ අදාළ තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කළයුතු වන්නේ බඳවාගැනීම් කිරීමෙන් පසුව නොව සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණයන්ට පූර්වයෙන් බවත්, බඳවාගැනීම් සියල්ල සිදු කිරීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කිරීම හරහා එකී විභාගයෙන් අසාධාරණයට ලක්වූ සමස්ත අපේක්ෂකයන්ගේම නීත්‍යානුකූල අපේක්ෂා බිඳවැටී ඇති බවත්ය.
එබැවින් මේ රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් ගැසට් නිවේදනයක් මගින් වයඹ පළාත් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති වයඹ පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වැනි පන්තියේ 1(අ) පුරප්පාඩු සඳහා අපේක්ෂකයන් බඳවාගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් 1, 2, 3 වගඋත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා තිබෙන බව ද නීතිඥ සංජීව විජේපාල මහතා ප්‍රකාශ කළේය.